ඔබට ගෙයක් රටට හෙටක්

0
  • “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 751ක මුදලක්…
  • නිවාස 2265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ඇරඹේ…
  • “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක වැඩ අවසන්…

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ. 

ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් මෙම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් මෙම මුලද ලබාදී ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින් ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

එම නිවාස 2265 ඉදිකිරීම් කටයුතු මේ වනවිට විවිධ අදියරවල පවතී. ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම මුදල් යොදාගනමින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර, අවසන්කිරීමට නොහැකිවූ සියලුම නිවාසවල ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි.

 “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ කොරෝනා වයිරස ව්‍යාප්තිය හා රට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරවල තාවකාලිකව නතර කෙරුණු බවයි.

එහෙත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යධූරයට පත්වූ පසු එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය.

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ඉකුත් 2020 වසරේදීය. ඒ තමන්ටම ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙනි. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.