“අභිමානි” ව්‍යවසායක ඇගයීම් උළෙල මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අකුරණදී .

0

අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  මගින් සංවිධානය කළ  “අභිමානි” ව්‍යවසායක ඇගයීම් උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් අකුරණ ඒ-9 උත්සව ශාලාවේදී (7) පැවැත්විය.  එහිදී  සුළු,  මධ්‍ය සහ මහා පරිමාණ වශයෙන් කාණ්ඩ ත්‍රිත්වයක් යටතේ ව්‍යවසායකයින් 57 දෙනෙකු ඇගයීමට ලක් කිරීම සිදුවූ අතර, එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සේවය අගයමින් සමරු තිළිණයක් එම මහතා වෙත පිරිනැමීම ද සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ මෙවන් අසීරු අවස්ථාවක ව්‍යවසායකයින් රැකගැනීම කාලීනව වැදගත් බවත්. කුඩා – මධ්‍ය ව්‍යවසායකයින් රටේ ආර්ථීකයේ ප්‍රධානතම අංශයක් ලෙස සැලකිය හැකි බවත්  ප්‍රකාශ කළ ඒ මහතා කොවිඩ් වසංගත තත්ත්වය පැවති තත්වයේදී ව්‍යවසායකයින් දිරිගැන්වීම සදහා INNEX ප්‍රදර්ශනය පවත්වමින් පළාත් සභාවක් වශයෙන් ව්‍යවසායකයින් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ බවත්, ව්‍යවසායකයින් වශයෙන් රට මුහුණ දී ඇති ආර්ථික අපහසුතාවයන් හමුවේ විශාල කාර්යභාරයක්  ඉටු කළ හැකි බවත් රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවයෙන් රටේ අපනයන ආදායම ඉහල නැංවීම සදහා විශාල අවස්ථාවක් ඇති බවත් ය.
 අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලැබු “අභිමානි” ව්‍යවසායක ඇගයීම් උළෙල ඉතා වැදගත් බවත් ඒ ඔස්සේ ව්‍යවසායකයින් තුල අභිප්‍රේරණයක් ඇති වනු ඇති බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම වැඩසටහන සදහා මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ, අමානා බැංකුවේ ව්‍යාපාර ප්‍රධානි  අසම් අමීර් (Azam Ameer) යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.