මුල්ම PCR ඩුබායි සිට පැමිණි 53කට – පැය 3න් වාර්තාව

0

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හා සංචාරකයන්ට පැය 03 කින් ප්‍රතිඵල ලබාදෙන කටුනායක පිසිආර් පරීක්ෂණාගාරයේ වැඩ ඇරඹෙයි. ඒ අනුව ඩුබායි සිට මෙරටට පැමිණි EK 652 දරණ එමිරේට්ස් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් 53 දෙනෙකුට මුල්ම පිසිආර් පරික්ෂණ සිදු කෙරිණ. ඒ අතර විදේසගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම සංචාරකයෝ ද වූහ.

කටුනායක ගුවන් තොටුපළේ පිහිටුවා ඇති විශේෂ කවුළු කීපයක දී ලියාපදිංචි වූ මෙම පිරිස ගුවන් තොටුපළේ සිට 18 කණුව පිසිආර් පරික්ෂණාගාරය දක්වා බස් රථ මගින් රැගෙන ගිය අතර ජෛව පටල සාම්පල් ලබාගැනීමෙන් පසු සංචාරකයන් අදාළ හෝටල් වලටත්, විදේසගත ශ්‍රී ලාංකිකයන් නිවෙස් වෙතත් යොමු කෙරිණ. ගුවන් තොටුපළ කුලී රථ අවශ්‍ය අයගේ ප්‍රවාහන කටයුතු සදහා ද යොදවා තිබුණි. පිසිආර් වාර්තා මගින් කොවිඩ් වැළදී නොමැති බවට තහවුරු වන සංචාරකයන්ට හා ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සමාජගත විමට ඒ අනුව හැකියාව ලැබේ.

පළමු කණ්ඩායමේ ප්‍රතිඵලය පැය 03 කටත් අඩු කාලයක දී ලබාදීමට පියවර ගැණුණු අතර ඔවුන්ගේ ජංගම දුරකථන වෙත අදාළ සහතිකය යොමු කිරීමට කටයුතු කෙරිණ.

පසුගිය ජූලි 09 වන දා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පරික්ෂණාගාරය ඉදි කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබු අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලේ අනුමැතිය හිමි විය. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් වන මෙම පිසිආර් පරීක්ෂණාගාරය ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හා ඔක්සිනෝම් ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ ඉදි කෙරිණ. මෙම පිසිආර් පරික්ෂණාගාරයේ ඉදි කිරිම් ආරම්භ කෙරුණේ පසුගිය ජුලි 23වනදායි.

පැයකට පිසිආර් පරික්ෂණ 500 ක් හා දවසකට පිසිආර් පරික්ෂණ 7000 ක් සිදු කළ හැකි මෙම පරික්ෂාණගාරයේ කටුනායක 18 කණුව ආශ්‍රිත ගුවන් තොටුපළ භූමියක ඉදි කෙරුණු අතර පසුගිය 23 වන දා එය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණ. මුලින් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙය ආරම්භ කෙරුණ ද පසුව විගමනික ශ්‍රමිකයන්ට ද මෙහි දී පිසිආර් පරික්ෂණ සිදු කිරීමට තීරණය කෙරිණ. විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියා සදහා පිටත් ව ගිය ශ්‍රී ලාංකිකයන් ආපසු පැමිණෙන විට ඔවුන්ගේ පිසිආර් පරික්ෂණ සදහා වැය වන මුදල ගෙවිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකගත්වය පළ කර තිබේ.

කටුනායක නව පිසිආර් පරික්ෂණාගාරය ඉදි කෙරුණේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය ජූලි මාසයේ සිට ඒ සදහා රජය වෙහෙසුන බවත් කොවිඩ් හේතුවෙන් බිද වැටි ඇති රට යළි ගොඩනැංවිමේ දි නිවැරිදි ක්‍රම වේදයක් ඔස්සේ එය සිදු කිරිමේ අවශ්‍යතාව මත මෙය සිදුකෙරුණු බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය. විපක්ෂය හා ඇතැමුන් පවසන පරිදි ඉතා කඩිමුඩියේ මෙවැනි පරීක්ෂණාගාර ක්‍රියාත්මක කළ නොහැකි බවත්, කොවිඩ් වසංගත තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එය සිදු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

“අපි මේ සටන් කරන්නේ නොපෙණෙන සතුරෙක් සමගයි. අපිට හිතෙන හිතෙන හැටියට මෙහි දී කටයුතු කළ නොහැකියි. ඉතා ප්‍ර වේශමෙන් මේක කරන්න ඕනේ. හදිස්සි වී වසංගත වලට විසදුම් හොයන්න බෑ. දැන් අපි මෙය ආරම්භ කළා. ඉදිරියේ දි මතුවිය හැකි ප්‍රි යෝගික ගැටළු ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඒ අනුව ගැටළු මතුවුවහොත් ඒවාට ප්‍රායෝගික විසදුම් සොයා ගනිමින් අපි මේ කටයුත්ත අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා.“ ඇමතිවරයා කීවේය.