ළමුන්ට එන්නත් දෙනවා නම් තව පරීක්ෂණ කළ යුතුයි – විශේෂඥයින් කියයි

0
පාසල් දරුවන් සඳහා සඳහා කොරෝනා එන්නත ලබාදීමට හදිසි තීරණයක් නොගන්නා ලෙසත්, පුළුල් ලෙස කරුණු සලකා බලා, ගත යුතු භාරදූර තීරණයක් බවත් කොළඹ  රිජ්වේ ආර්යා ළමා රෝහලේ  විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ ලිපියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දන්වා ඇත.
මහා බ්‍රිතාන්‍යය (UK ) පවා මේ වන විට පුළුල් ලෙස කරුණු විමර්ශනය කොට, විශේෂයෙන් හඳුනාගත් විවිධ නිදන් ගත රෝග සහ වෙනත්  විශේෂිත  තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පමණක් ,කොරොනා එන්නත  නිර්දේශ කර ඇති බවත් ශ්‍රී ලාංකික පාසල් දරුවන් සඳහා කොරෝනා  එන්නත නිර්දේශ කිරීමට පෙර   පහත සඳහන් කරුණු  සලකා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් ඔහු මෙසේ කරුණු කිරිපයක් ඔහුගේ ලිපියෙන් පවසා ඇත.
දරුවන් සම්බන්ධයෙන් කොරෝනා  එන්නතේ සාර්ථකත්වය පිළිබඳව මේ වන විට කවර  හෝ විද්‍යාත්මක  සාක්ෂියකින් සනාථවී  නොමැති අතර, එය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. කොරොනා එන්නත දරුවන්ට  ලබා දීමෙන් ඇතිවිය හැකි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඵලවිපාක  පිළිබඳවද    අවිනිශ්චිත තත්ත්වයක්  පවතී.
විවිධ ආකාර වලින් නිපදවූ  කොරෝනා  එන්නත් වලින් සිදුවිය හැකි ජානමය විකෘති සහ පසුකාලීනව ඇති විය හැකි බරපතළ රෝගාබාධ පිළිබඳව ද මේ වන විට  ලෝ පුරා විද්‍යාඥයින් කරුණු  ඉදිරිපත් කොට ඇත.
ඉතා සීඝ්‍රයෙන්   ජාන විකෘති ඇති වෙමින්  කොරෝනා වෛරස් ප්‍රභේද ගණනාවක්    මේ වන විටත් බිහි වී ඇති අතර, කොරෝනා  සඳහා ලබාදෙන එන්නත් වල සාර්ථකත්වය පිළිබඳව නැවත විමර්ශනය කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇත.
 ඉදිරියේ දී  මේ තත්ත්වය  තවදුරටත් බරපතළ ලෙස වර්ධනය විය හැකි අතර, දරුවන් සම්බන්ධයෙන්   සහ  ගර්භනී මව්වරුන්ට  එන්නත් ලබාදීම ඒ නිසා  බිහිවන  දරුවන්ට ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව  වෛද්‍ය විද්‍යාත්මකව  පුළුල්  ලෙස අධ්‍යයනය කොට  තීරණ ගත යුතු බව අපගේ අදහසයි.
මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා  වෛද්‍ය විශේෂඥයින්, විද්‍යාඥයන් ඇතුළු   අදාල පාර්ශව නියෝජනය වන පරිදි විශේෂඥ  කමිටුවක් පත් කරන  ලෙස  ඉල්ලා සිටිමි .
අදාල ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ලේකම් -සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටද යොමු කර තිබේ.