සංචාරකයෝ ගෙන්වා ගැනීම තමයි ආණ්ඩුවේ ටාගට් එක

0
By: අශන්ති වරුනසුරිය    Reader Political Analyst 
මේ දිනවල රජයේ වැඩි අවධානයක් යොමුව පවතින්නේ එන්නත්කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා යි. මෙරට ජනතාවගෙන් සියයට හැත්තෑවක්වත් හැකි ඉක්මනින් එන්නත්කිරීම සඳහා අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවිධ රටවල් හා සංවිධාන සමඟ සාකච්ඡා පවත්වයි.
ඒ අනුව මෙරටට ගෙන්වන එන්නත් දිස්ත්‍රික්ක මට්ටමින් බෙදා හැර, කඩිනම් එන්නත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. මේ එන්නත් කරන වැඩපිළිවෙළටද අමාත්‍ය මණ්ඩලයේ අවධානය පසුගිය සදුදා යොමු විය.
” අඟහරුවාදා සයිනොෆාම්  එන්නත් ලක්ෂ දාසයක් අපිට ලැබෙනවා. ඒ වගේම තවත් එන්නත් ලක්ෂ 90ක් අගෝස්තු මාසය තුළ මෙරටට රැගෙන එනවා. රටේ ආර්ථික ප්‍රශ්නයට හේතුව රට වසා දැමීම. ඒ වෙලාවේ කරන්න වෙනත් දෙයක් තිබුණෙ නැහැ. මේ වෙනකොට අපිට එන්නත් ලබා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ගෙන් 90%ක් විතර එන්නත් කිරීම අවසන් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමස්ත  ජනගහනයෙන් 60% කට වඩා එන්නත් කරන්න අපට පුළුවන්. එන්නත් කරන වැඩපිළිවෙල තුළ කලාපයේ අනෙක් රටවලට වඩා ඉදිරියෙන් අපි ඉන්නවා. මේ වසංගතයට එකම විසඳුම එන්නත්කරණය යි.
ඒ වගේම සැප්තැම්බර් මාසේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න අපිට පුළුවන්. සංචාරක ව්‍යාපාරය කඩිනමින් නැවත ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් මේ දිනවල සකස් වෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල වැඩපිළිවෙළ සාර්ථක කර ගත්තොත් නැවත රට වසා දැමීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
” මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් 90% එන්නත් කර අවසන්” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීය.
” ඔව් ගම්පහ  එන්නත් කරන වැඩපිළිවෙල හොඳට සංවිධානය කරලා තිබුණා” ජනාධිපතිවරයාද කීය.
මේ සාකච්ඡාව අතරතුර විමල් වීරවංශ අමාත්‍යවරයා”සංචරණ නීති රීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නීති රීති හැමෝටම එක වගේ නැහැ කියන චෝදනාවක් එල්ල වෙනවා”
” ඔව්, ඔය ගැන අපි විමර්ශනයක් කරනවා” සෞඛ්‍යය ඇමතිවරිය කීවාය
“දැන් මගුල් ගෙවල්වලට මළ ගෙවල් වලට යම් යම් සීමා යටතේ අවසර ලැබිලා තියෙනවා. ඒ උනාට සමහරක් ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නැහැ. මෙහෙම වුණාම ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති වෙනවා” ජනාධිපතිවරයා කීවේය.
ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ” ජනාධිපතිතුමනි , ඔය චෝදනාව ගැන විමර්ශනයක් කරන්න කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා. පහුගිය කාලයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකමින් මංගල අවමංගල උත්සව පැවැත්වීම ගැන පැමිණිලි තියෙනවා. ” කීවාය.
එන්නත්කරණයත් සමග මෙරට සංචාරක ව්‍යාපාරය නව වේගයකින්  ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ දිනවල සකස් කරමින් පවතින නිසා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මේ දිනවල සිටිනනේ  තරමක් කාර්යය බහුලව ය. ඔහු  සංචාරක ක්ෂේත්‍රයට අදාළ පිරිස් කැඳවමින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වයි. සංචාරකයින් ගේ ආරක්ෂාවත්, මහජනතාවගේ ආරක්ෂාවත් සහතික වන පරිදි සංචාරක ව්‍යාපාරය නැංවීමේදී සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කළ යුතු දේ පහදයි. මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය, ගුවන් සමාගම් සංචාරකයින් මෙරටට ගෙන්වන නියෝජිත ආයතන හා හොටෙල් ක්ෂේත්‍ර යේ අය සමඟ අමාත්‍යවරයා පසුගිය සදුදා ද විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.  මෙම සාකච්ඡාවට පෙර පැවති සාකච්ඡාවකදී සංචාරක ව්‍යාපාරය නැංවීම  සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දී තිබිණි.
මීට අදාළ නව යෝජනා කිසිවක් අදාළ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් නොවිම පීළිබද ව ඇමතිවරයා දැඩි කණස්සල්ලට පත්විය.
” තියරි වෙනුවට ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික වෙලා රිසල්ට් එක පෙන්වන්න. කතාකරල වැඩක් නෑ වැඩ කරලා පෙන්වන්න. සංචාරකයින් මෙරටට ගෙන්වන වැඩපිළිවෙළ ඉක්මන් කරන්න” අමාත්‍යවරයා එහි දී දැඩි ලෙස කීවේය.
“ඔයාලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදලා ඒකෙ රිපෝට් එක දවස් දෙකක් ඇතුළත දෙන්න. එක් එක්කෙනාට බෝල පාස් කරන්න එපා. ඒ රිපෝට් එක ජනාධිපතිතුමාටත් මුදල් ඇමතිතුමාටත් යොමු කරලා    ගැටළු සාකච්ඡා කරලා ඉදිරි පියවර ගන්නවා ” යි වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සිය දුරකථනය අතට ගත්තේය.‍ෙ
” මුදල් ඇමතිතුමා ඇමතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. බලමු ඒ ගැන කතා කරලා” කෙමෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අමාත්‍යවරයා උත්සාහ කළේය.
”  ඔව් ප්‍රසන්න.”
“ඇමතිතුමා, ටුවරිස්ට්ලා ලැබෙන්න ආණ්ඩුව සූදානම් වුනත් පොඩි ගැටලු ටිකක් තියෙනවා සාකච්ඡා කර ගන්න. “
” අපි සිකුරාදට ඒ ගැන සාකච්ඡා කරමු”
” හරි ඇමතිතුමා” කියමින් දුරකථන ඇමතුම විසන්ධි කළ සංචාරක අමාත්‍යවරයා ” ඔන්න දැන් අපිට වෙලාවක් හම්බ උනා. ඉක්මනට ඔය වාර්තාව දෙන්න.  මතක තියාගන්න මේ වෙලාවේ සංචාරකයෝ රටට ගෙන්වා ගැනීම තමයි අපේ ටාගට් එක. එහෙම කලොත් විතරයි අපිට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නේ. මේක මේ වෙලාවේ ජාතික යුතුකමක්. ”  යැයි කීවේය.