ගුරු පඩි වැඩි කිරීමට ආණ්ඩුව එකඟයි ඒත් කරන්න බැරි ඇයි

0
By: අශන්ති වරුනසුරිය    Reader Political Analyst 
වසර විසි හතරක් තිස්සේ පවතින ගුරු වැටුප් ප්‍රශ්නයට ලෝක වසංගත තත්ත්වයක් හමුවේ විසඳුම් සෙවීමට ගුරු වෘත්තිය සමිති ගෙන යන උද්ඝෝෂණ වැඩපිළිවෙල සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.  මේ ගැටළුවට මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී විසඳුමක් ලැබේ යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ.
අධ්‍යාපන අමාත්‍ය  ජී.එල්. පීරිස් මහතා ගුරු ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා වූ යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණු අතර එම යෝජනා දෙක එකවර සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ඒ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට  විශේෂ දැනුම් දීමක් කෙරිනි.
”  ඇමරිකන් ඩොලර් බිලියනයක ණය වාරිකය අපි ගෙව්වා. තව තියෙන්නේ  ඇමෙරිකන් ඩොලර් බිලියන  දෙකයි. රට දැඩි ආර්ථික අර්බුදයක තිබුනත්, සදුදා ණය මුදල ගෙව්වා. ඒ එක්කම පවතින මූල්‍ය ගැටලු සහගත තත්ත්වයන් ගෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ දවස් වල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා ” මුදල්  ඇමැතිවරයා අවධාරණය කළේය.
නැවත ගුරු ප්‍රශ්නයට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය.  ගුරුවරුන්ගේ ප්‍රශ්නයේ මූලාරම්භයේ සිට මේ දක්වා තොරතුරු සඳහන් කළ අධ්‍යාපන ඇමතිවරයා” මේක වසර ගණනාවක්ම ඇදෙන ප්‍රශ්නයක්. මේ ඉල්ලීම් අසාධාරණ නැහැ. ඉල්ලීමට අවධානය යොමු කරලා අපි තීරණයක් ගන්න ඕනේ. ” කීය.
අධ්‍යාපන ඇමතිවරයාගේ පැහැදිලි කිරීමට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා” වැටුප් වැඩි වැඩිකිරීම ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්තියක් විදියට පඩි වැඩි කිරීමට අපි එකඟයි. නමුත් රටේ පවතින තත්වය එක්ක මේ ගැන හිතන්න වෙනවා. ගුරු විදුහල්පතිවරු ඉල්ලන වැටුප් දෙන්න කෝටි 6800 ක් විතර යනවා..  රටේ පවතින තත්වය එක්ක ඒක කරන්න අමාරු උනත් ඊළඟ බජට් එකේදි ඒක කෙරෙන්න ඕනෙ .” යැයි කීවේය.
” ගුරුවරුන්ගෙ වැටුප් අවුරුදු 24 කින් වැඩි වෙලා නැහැ. මේක ගුරුවරුන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ඉල්ලීමක් ” ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කීවේය.
කලක් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාද සාකච්ඡාවට එක්වෙමින් ” රිචඩ් පතිරණ මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා විදිහට කටයුතු කරන කාලෙ තමයි  ගුරු සේවය ස්ථාපිත කරලා ගුරු සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන්න යෝජනාව ඉදිරිපත් කළේ. ඒ වුණත් රාජ්‍ය සේවක වැටුප් විෂමතා නිසා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ප්‍රශ්නෙ මේ දිගින් දිගටම ඇදෙන්නේ. ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. මම මේ ගැන ජනවාරි 08 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.  නමුත් අද රට තිබෙන රටේ තිබෙන තත්ත්වය ගැන  හිතන්න වෙනවා”
” හදිසි කැබිනට් පත්‍රිකාවක් නිසා මේ පත්‍රිකා නිරීක්ෂණය කරන්න සති දෙකක කාලයක් අවශ්‍ය වෙනවා. කොහොමටත් ඉදිරි අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මේ ගැන අමාත්‍යාංශයේ සාකච්ඡා වෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි  කිරීමේ හැකියාව ගැන සොයාබැලීම් කෙරෙමින් තිබෙනවා ” මුදල් අමාත්‍යවරයා ද කීය.
විමල් වීරවංස, මහින්දානන්ද අලුත්ගමගේ ,ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙහිදී  ගුරු ප්‍රශ්නය පිළිබඳව අදහස් දැක්වූ අතර   සෑම කෙනෙක්ම සදහන් කළේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ බවයි. නමුත් වත්මන් තත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් ගුරු ප්‍රශ්නය කරලියට ගෙන ඇති බවද කියැවිණි.
” ගුරු ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙනවා. මේ වෙනකොට ඔන්ලයින් ඉගැන්වීම් නතර වෙලා. ඔන්ලයින් ඉගැන්වීම් කරන්න කැමති ගුරුවරුන්ටත් ඇතැම් වෘත්තීය සමිති ඉගැන්වීම් කරන්න දෙන්නේ නැහැ. බලපෑම් කරනවා. එතන තියෙන්නේ දේශපාලන කාරණයක් . මේ අයට රට ඇතුලෙ ලොකු අර්බුදයක් මවන්නන් ඕන වෙලා තියෙන්නෙ. සංවේදී තත්ත්වය රට තුළ පවතින වෙලාවකම තවත් සංවේදී ප්‍රශ්නයක් කරළියට ගේන්නෙ ඒ නිසයි. ” විමල් වීරවංශ  ඇමතිවරයා කීය.
” රටේ පවතින තත්ත්වයත් එක්ක අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ විෂයයන්  වැඩි කතා බහකට ලක් වෙනවා. මේ ක්ෂේත්‍රවල ප්‍රශ්න ඇති කරලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය සමිතිය අයිතිවාසිකම් දෙන්න ඕන. අපිත් වෘත්තිය සමිති අයිතිවාසිකම් වලින් පෙනී හිටිනවා. නමුත් මේ වගේ වෙලාවක ඒ ගැන සාකච්ඡා කරන එකයි ගැටලුව” සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කීවාය.
“පුළුවන් ඉක්මනට අධ්‍යාපනය වෙනුවෙන් ටි.වි චැනල් එකක් පටන් ගත්තා නම් මේ වෙලාවේ ලොකු දෙයක්. ඒ ගැන  වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ “වීමල් වීරවංශ  ඇමතිවරයා යළි කීවේය.
ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල” ඒකට අපි ලැහැස්තියි. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඒ සඳහා ක්‍රමවේදයක් සහිත සැලැස්මක් අපිට ඕනේ” කීය.
” අපි ඒක හදාගෙන යනවා” අධ්‍යාපන ඇමතිවරයා පෙරළා පිළිතුරු දුන්නේ ය.
” අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  ඉක්මනට සැලැස්ම හදලා චැනල්  වැඩේ පටන් ගන්න. අගමැතිතුමා හා ඇමතිවරු කීපදෙනෙක් ගුරු සංගම් සමඟ මේ ගැන සාකච්ඡා කරනවා නම් හොඳයි. මේ තත්ත්වය ඒ අයට පැහැදිලි කරලා දෙන්න” ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුදින ගුරු සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ සදහා විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නම් යෝජනා විය. ඩලස් නිරෝධායනය වෙමින් සිටින නිසා ඊට සහභාගී විය නොහැකි බව කීවේය.
පසුගිය අගහරුවාදා අග්‍රමාත්‍යවරයා හා ගුරු සංගම් නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ ඒ අනුවයි. සාකච්ඡාව අරඹමින් අගමැතිවරයා කීවේ ‘අපි ප්‍රතිපත්තියක් විදිහට ගුරු වැටුප් වැඩි කරන්න එකගයි. අපි ඒක කරනවා. ඊළග බජට් එකෙන් මේ ප්‍රශ්නෙ විසදන්න අපි තීරණය කරලයි තියෙන්නේ. ඒ වෙනකම් අපිට සහාය දෙන්න. මේ වෙලාවේ සල්ලි නැතුව වෙන ඕනැම දෙයක් ඉල්ලන්න‘. කියාය. ගුරු සංගම් නියෝජිතයන් ඊට පිළිතුරු දෙමින් කීවේ ගුරු වැටුප් වැඩිවීම පිළිබද ප්‍රතිපත්තිමය එකගතාවයක් අවශ්‍ය බවය. ඉතින් අපි ප්‍රතිපත්තියක් විදිහට ඒකට එකගයිනේ. මේ වෙලාවේ රට බරපතළ ප්‍රශ්නයක තියෙන්නේ. ඒ නිසා අපිට ටික කාලයක් දෙන්න.‘ අගමැතිවරයා යළි කීවේය. කෙසේ වෙතත් ගුරු සංවිධාන නියෝජිතයන් මස් රාත්තලම ඉල්ලා සිටින බව පෙණින. ඒ අනුව සාකච්ඡාව අවසන් වුයේ එකගතාවයකින් තොරවය.