උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල පානීය ජල ප්‍රශ්නය විසඳීමට නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක්…

0
  • ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 209යි..
  • දිනකට ජලය ලීටර 2000ක් පිරිපහදු කෙරේ…
  • නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ස්ථාපනය කෙරේ.

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4ක් ස්ථාපිත කෙරෙන අතර, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කිරීමට නියමිතය.

සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම  නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.

නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි.

2021 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 209කි.නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ ඒකකය සඳහන් කරන්නේ  මෙම ව්‍යාපෘතියේ සියයට 60ක පමණ ඉදිකිරීම් කටයුතු අවසන් බවයි.

කොරෝනා වයිරස ව්‍යාපෘතිය හා රට මුහුණදී තිබූ අර්බුද හේතුවෙන් නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිම කිරීම පමාවූ බවද එම ඒකකය සඳහන් කරයි. කඩිනමින් මෙම ව්‍යාපෘතිය නිමකිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද නැවත පදිංචි කිරීමේ ඒකකය විශ්වාසය පළ කරයි.