PRESS RELEASE – WAJIRA ABEYWARDANA

0

එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී  30වන දින වෘත්තියවේදීන් පිරිසක් සමග පැත් වූ සාකච්ඡාවේදී මාධ්‍යයට සිදු කළ ප්‍රකාශය.

රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙමින් පවතිනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න බැරි වෙන තැනට පත්වෙමින් තිබෙනවා. සිමෙන්ති නැති වුනා කියලා කියන්නේ මේසන් මහත්වරුන්ට වැඩ නෑ, වඩු මහත්වරුන්ට වැඩ නෑ, විදුලි කාර්මිකයන්ට වැඩ නෑ, කම්කරුවන්ට වැඩ නැ, ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාම අමාරුවේ වැටිලා. ඉතාමත්ම අවාසනාවන්ත තැනකට රට තල්ලුවෙමින් තිබෙනවා. සිමෙන්ති විතරක් නොවේ, ටයිල් නෑ. ඉදි කිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කරන කිසිම දෙයක් සොයාගන්න අමාරු තැනට පත්වෙලා. හරියට කළුනික හොයනවා වගේ.

මේ ප්‍රශ්නය කාටවත් බැනලා විසඳන්න පුලුවන් එකක් නොවේ. ඒ නිසයි ගාල්ල දිස්ත්‍රික්කයේදී අපි උද්ඝෝෂණයක් තියලා රජයට පණිවුඩයක් දුන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව පැතිරීම අපේ උද්ඝෝෂණයේ අරමුණ නොවේ කියලා. අපට ඕන කරලා තිබුනේ අනාගතයේ මේ රට ගොඩගන්න පොහොට්ටුවේ අයත් ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් ඕන, වාමාංශිකයොත් ඕන, අපෙන් කඩාගෙන ගිහින් වෙන් වෙලා ඉන්න පිරිසුත් ඕන. ඉතින් ඒ ඔක්කොම එක්තැන් කරලා යකඩ වගේ ශක්තිමත් රාමුවක් ඔස්සේ වැඩ කරන්න කියලයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂයේ නායකයා හැටියට නව ගමනක් යන්න ආරම්භ කරලා තියෙන්නේ.

පැරණි ක්‍රම වලින් දැන් රට ගොඩගන්න බෑ. මේ රටේ අලුත් පරම්පරාවක් ඇවිත් ඉන්නවා. අවුරුදු 16 ත් 28 ත් අතර අය. ඒ පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක මේ රට ඉදිරියට ගෙනයන්න තිබෙනවා. ඒ සඳහා තමයි එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ වෝර්ඩ්ස් (කොට්ඨාශ) 4917 ම වැඩසටහනක් ආරම්භ කළේ. ඒ වැඩසටහන දැනට නාගරික මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැකි ඉක්මනින් ඒ තොරතුරු පද්ධතිය අපි ඒකරාශී කරගෙන සියලු ජනකොටස් එකතු කරගෙන මේ වැටෙන රට ගොඩගන්න අවශ්‍ය පියවර තියනවා කියලා මතක් කරන්න කැමතියි.

මේ වගේ රටක් වැටෙන වෙලාවක රටක් වටින ලෝකයක් පිළිගන්න නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ නායකතුමා. එතුමා අලුත් වන ලෝකය සමග ඉදිරියට යන නායකයෙක්. පැරණි ක්‍රමවේද භාවිතා කරලා රට ගොඩගන්න බෑ කියලත් එතුමා කියලා තියෙනවා. රට ගොඩගන්න ස්ථාවර ශක්තිමත් ප්‍රභල නායකත්වයක් අවශ්‍යයි. නැතිනම් දැනුත් පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්නවනේ. ඒ 225 ට වඩා වෙනස් හිතන්න පුලුවන් නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඒ අනුව මේ රට ගොඩගැනීම සඳහා පෙළ ගැසිය යුතුව තිබෙනවා.

තේ කර්මාන්තය ඉවරයි, කෘෂි කර්මාන්තය ඉවරයි. කාබනික වගාවෙන් තමයි මිනිසුන්ට දැන් ආහාර පාන ගන්න තියෙන්නෙ. කාබනික පොහොර වලින් හදන ඒ ආහාර ද්‍රව්‍ය කඩවල තිබෙනවා. මම කියනවා කඩේකට ගිහින් බලන්න කියලා කාබනික පොහොර වලින් හදන ආහාර ද්‍රව්‍ය වල මිළ කොහොමද කියලා. අන්න ඒ ලැයිස්තුව බලා ගත්තා නම් කාබනික පොහොර වලින් මේ රටේ ජනතාවට අද  කන්න බොන්න බැරි බව අවබෝධ කරගනීවි.

අද කාබනික පොහොර වලින් පමණක් නිෂ්පාදනය කරන ආහාර භාණ්ඩ තියෙන කඩ කඩවලට ගිහින් ගණන් බැලුවම, සාමාන්‍ය ආහාර වගේ දෙතුන් ගුණයක් ගණන්. ඉතින් මෙවැනි අදූරදර්ශී, ජනතාවට අහිතකර කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා කියලා කියන්නේ මේ රටත් විනාශයි. ජනතාවත් විනාශයි.

මේ සියල්ලේම අවසන් ප්‍රතිපලය වන්නේ ආහාර අහේනියකට පත් වීමයි. ඒ නිසා මේ වසර තුළ එක්සත් ජාතික පක්ෂයේ වගකීම සියලු ජනකොටස් එකතුකරගෙන වැටුණු ජනතාව නැගිටවන්න අපි ක්‍රියාකරනවා කියලා මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි.