ජාතික ජන බලවේගයට එල්ල වු බිත්තර ප්‍රහාරය පිළිබදව ඇමති ප්‍රසන්න අපක්ෂපාතී පරික්ෂණයක් ඉල්ලයි

0

ගම්පහ කළගෙඩිහේන ප්‍ර දේශයේ දි ජාතික ජනබලවේගයක් රැස්විමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වග කිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

ජනාධිපතිවරයා හා පොලිස්පතිවරයා  වෙත ලිපි යවමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අවධාරණය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ ඕනෑම ප්‍ර දේශයක දේශපාලන රැස්විමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන් පිළිගන්නා බවත් ඊට ගරු කරන බවත්ය. ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව මෙවැනි පහත් පෙළේ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු ජනාධිපතිවරයා හා පොලිස්පතිවරයාගේ වෙත යැවු ලිපිවල සදහන් වේ.

මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට හා ඊට අනුබල දුන් පුද්ගලයන්ට ද ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන ලෙස ද රණතුංග මහතා සිය ලිපි මගින් ඉල්ලා තිබේ.

මේ අතර සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සිද්ධියට තමන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාර දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බව ද සදහන් කරයි. මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස තමන් දැඩි ලෙස හෙළා දකින බව ද ඔහු සිය ෆේස් බුක් සටහන මගින් අවධාරණය කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු නායකයා ලෙස මෙවැනි සිද්ධින් තමන් කිසිසේත් අනුමත නොකරන බව ද රණතුංග මහතා මුහුණපොතේ තැබු සටහනේ සදහන් වේ.