පාකිස්ථානයේ බෞද්ධ උරුමය “ගාන්ධාර” වාර්තා චිත්‍රපටය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි

0
පාකිස්ථානයේ බෞද්ධ උරුමය අලළා නිර්මාණය කළ “ගාන්ධාර” වාර්තා චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (16) අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම වාර්තා චිත්‍රපටය එළිදැක්විණි.
ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය ඇතිව ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය සහ සිද්ධිවිනායක් සිනෙ ආර්ට්ස් පෞද්ගලික සමාගම සම නිෂ්පාදනයෙන් දායක වී ඇත.
මෙම වාර්තා චිත්‍රපටයෙන් ක්‍රිස්තු වර්ෂ 1වැනි සියවසේ සිට 7 වැනි සියවස දක්වා බෞද්ධ ශිෂ්ටාචාරයේ පොහොසත්ව පැවැති පාකිස්ථානයේ ගාන්ධාර ශිෂ්ටාචාරය ගැන අවධානය යොමු කරයි.
ලොව ප්‍රථම බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙස සැළකෙන තක්ෂිලාව පාකිස්ථානයේ පිහිටා ඇති අතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මානවරූපී ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ ද පාකිස්ථානයට අද අයත්ව තිබෙන ප්‍රදේශයේ බව සැලකෙයි.
ගාන්ධාර වාර්තා චිත්‍රපටය මගින් පාකිස්ථානයේ පිහිටි මෙම ශ්‍රේෂ්ඨ බෞද්ධ උරුමය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට මෙන්ම ගෝලීය බෞද්ධ ප්‍රජාවට සම්බන්ධ කිරීමට ප්‍රයත්න දරා ඇත.
දින 12ක් පාකිස්ථානයේ සංචාරය කරමින් නිර්මාණය වූ මෙම වාර්තා චිත්‍රපටයේ සමස්ත ව්‍යාපෘතිය භාර ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ කටයුතු කළහ.
ගාන්ධාර වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම නිෂ්පාදනයෙන් කෞශල්‍යයා වික්‍රමසිංහ සිද්ධිවිනායක් සිනෙ ආර්ට්ස් පෞද්ගලික සමාගම, පාකිස්ථාන රජයේ විශේෂ අවසරය ඇතිව අධ්‍යක්ෂ මාතෙන් සහෙරායි සහ නිෂ්පාදන පාලක ලෙස එංගලන්තයේ සිට සජාද් මොහොමඩ් මහත්ම මහත්මීන් දායක වී ඇත.
පිටපත් රචනය හා සම අධ්‍යක්ෂණය විද්‍යාජෝති මහාචාර්ය නිමල් සිල්වා මහතාය. පාකිස්ථානයේ ෆල්කොම් ක්ලබ් පෞද්ගලික සමාගම රේඛීය නිෂ්පාදනයෙන් ඊට සහය වී තිබේ.
ගාන්ධාර වාර්තා චිත්‍රපටය එළිදක්වන අවස්ථාවේ ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ මෙසේ පැවසූහ.
පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කරනකොට එතුමා ඉල්ලීමක් කළා පකිස්ථානය බෞද්ධ වටිනාකම් තිබෙන රටක් විධියට,බෞද්ධ ස්තූප, බෞද්ධ නෂ්ටාවශේෂ, විවිධ වටිනාකම්වලින් යුක්ත බෞද්ධ පෞරාණික වස්තූන්ගෙන් ඉතාමත් ගහණ රටක් හැටියට මේවා ලාංකීය බෞද්ධයන්ට දැක බලා ගැනීම උදාකර දීම ඉතාමත්ම කාලෝචිතයි කියලා.
ඒ නිසා මා ඉල්ලීමක් කරනවා.අපේ අග්‍රාමාත්‍යතුමාගෙන් මේ නටබුන්, ඒ වටිනාකම් ලංකාවේ බෞද්ධයන්ට පෙන්වන්න අවස්ථාවක් සළසා දෙන්න කියලා. මෙම වාර්තා චිත්‍රපටය සකස් කිරීමේ සංචාරයට පාකිස්ථානයේ ආරාධනය ඇතිව මා සමඟ අපේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නයත් වැඩම කළා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍යතුමාගේ බෞද්ධ කටයුතු පිළිබඳ පෞද්ගලික ලේකම් ඒ.එම්.රත්නායක මහත්මා ආදි කොට අමාත්‍යාංශය මැදිහත්වෙලා, පාකිස්ථානු මහ කොමසාරිස්තුමා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලය සහ කෞශල්‍යයා වික්‍රමසිංහ මෙනවිය සහ මහාචාර්ය නිමල් සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කළා යැයි ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ පැවසූහ.
චිත්‍රපටය එළිදක්වන අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.
ඉස්ලාම්, හින්දු සහ ක්‍රිස්ත්‍රියානි පූජකතුමන්ලා ඇතුළු අන්‍යාගමික නායකයෝ ද ඊට එක්වූහ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, සී.බී රත්නායක,ඩග්ලස් දේවානන්දා,නිමල් සිරිපාල ද සිල්වා, අලි සබ්රි, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහත්ම මහත්මීහු සහ සිද්ධිවිනායක් සිනෙ ආර්ට්ස් පෞද්ගලික සමාගමේ අධිපතිනි කෞශල්‍යයා වික්‍රමසිංහ මෙනවිය ඇතුළු නිෂ්පාදන කාර්යයට දායකවූවෝ හා  ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.