මොඩර්නා (Moderna)

0
මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා  නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94%  ක ඉහළ කාර්යක්ෂමතාවයකින්  රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබෙනවා. එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා.
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.
ෆයිසර් (Pfizer) එන්නතට සමාන තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම එන්නත ගබඩා කිරීම සඳහා සෙල්සියස් අංශක -50 සිට -20 අතර අධි ශීත තත්වයක් පවත්වා ගත යුතු බව  දක්වාත් තිබූ නිසා මුල් අවස්ථාවලදී අදාළ යටිතල පහසුකම් නොමැතිව බොහෝ රටවලට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුනා. නමුත්, පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් දින 30 ක කාලසීමාවක් පුරාවට සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක විවෘත නොකළ එන්නත් මාත්‍රා තබාගත හැකි බව සොයා ගැනීමත් සමග බොහෝ රටවලට  තිබූ යටිතල පහසුකම්  පිළිබඳ ගැටළුවට විසඳුම් ලැබුණා.
ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත යන දෙකම mRNA  එන්නත් ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ  ප්‍රතිදේහජනක ය ලෙස  අඩංගු වනුයේ කොරෝනා වෛරසයේ spike ප්‍රෝටීන කොටස නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත  ගබඩා වූ mRNA කොටසක්  පමණයි. වාහකයක් ලෙස වෙනත් කිසිදු වෛරසයක් භාවිතා නොකර මෙම mRNA කොටස ආවරණය කිරීම සඳහා lipid nanoparticle (LNP) ආවරණයක් පමණක්  යොදාගෙන තිබීම මෙහි විශේෂත්වයක්.
මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු  බව නිර්දේශ කොට තිබෙනවා.
අනෙක් එන්නත්  ලබා ගැනීමෙන් පසුව මෙන්ම මෙම  එන්නතෙන් අනතුරුව ද සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් ඉතා කෙටි කාලයකින් සුව වී  යන බව නිරීක්ෂණය කර තිබෙනවා. එලෙස ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ ලෙස වාර්තා වී ඇත්තේ,
එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම සහ රතු පැහැ ගැන්වීමට, උණ, හිසරදය, වමනය  සහ ඇගපත වේදනාව සහ තෙහෙට්ටු ගතියක් ඇතිවීමයි.
කෙසේ නමුත් අනෙකුත් එන්නත් මෙන්ම මොඩර්නා එන්නත මගිනුත් කොවිඩ් – 19 රෝගයෙන් 100% ක  ආරක්ෂාවක් නොලැබෙන නිසා,  එන්නතෙන්  පසුවත් මෙතෙක් අනුගමනය කළ  සෞඛ්‍යය  පුරුදු අඛණ්ඩව පිළිපැදීම ඔබේත් ආදරණීයන්ගේත්  ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ  යුතු බව අප නැවතත් මතක් කරන්නට කැමතියි.
එන්නත ලබා ගන්න. සුවෙන් සිටින්න
සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශය