By: මේඝා..
වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මිය ගොස් ඇත. ඇය කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඒ අතරතුර මියගොස් ඇත.
හීන් මැණිකා දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි. දඹාන ගම්මානයට කිහිප විටක්ම විවිධ මාධ්‍ය ආවරණ සඳහාත් පුද්ගලිකවත් මා එහි ගොස් ඇත. ගිය සෑම විටදීම ඇයව අපව ආදරයෙන් පිළිගත් චරිතයකි. මවක් ලෙසද නායිකාවක ලෙස ඇය ආදරණිය මෙන්ම ගෞරවනීය සේවයක් ඉටුකළ තැනැත්තියකි.
ලෙන්ගතු චරිතයක් ලෙස සියල්ලෝම සමඟ සමගියෙන් වාසය කළ ඇය නිරතුරු සියල්ලට ආදර්ශවත් චරිතයක් විය. දඹාන ට ගිය කිහිප අවස්ථාවකදීම ඇය මුණ ගැසී කතා කල අයුරු මතක් වන විට දැනෙන්නේ අතිශය සංවේගයකි.
ඇය නිරතුරු අසනීපවී සිටි බව මට මතකය. ඇය විටින් විට අසනීප වී තිබිණි. මීට අවුරදු දහයකට පෙර (2005 පමණ ) ඇයට වකුගඩුවක් බද්ධ කරන්න සිදු වූ අතර එවිට ඇයට අවශ්‍ය වකුගඩුව ලබා දෙන්නේ ඇයගේ දුවය. දරුවන් පස් දෙනෙකෙගෙන් යුත් එම පවුල බෙහෙවින්ම ආදරණිය පවුලක් විය. ඔවුන්ද සාර්ථක පවුල් ජිවිත සාමකාමීව ආදරයෙන් ගත කළේය. ඒ අනුව වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පසු නායකධූරය ලබන්නේ ඔහුගේ වැඩිමල් පුතුටය.
නිහතමානී ගතිලක්ෂණ පෙන්වූ ඇය කතා කරන්න ලජ්ජාශීලි කාන්තාවක් වුවත් නිරතුරු ප්‍රියමනාප කාන්තාවක් වූවාය. හීන් මැණිකාට ලස්සනට සිනහවක් තිබිණි. දිනක් සාකච්චාවකදී වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්න් ඔහුගේ ආදරය ගැන මෙසේ මතක් කළේය. ඔහුට ද ඇයටද සාර්ථක අදර්ශමවත් පවුල් ජිවිතයක් මෙන්ම හරි ලස්සන අදර කතාවක් ද තිබිණි.
“මම විවාහ වුණේ අවුරුදු තිහක් වගේ වයසෙදි. ඒක ලොකු කතාවක්” ඔහුට ඒ මතක මතක් කරන විටද දැනුනේ ඉමහත් සතුටකි. ඒ මතක කියන්න මුල් පුරද්දීත් ඔහු සිනහවූ අයුරු මට අද මතක් වන්නේය. ඌරුවරිගේ වන්නිල ඇත්තන්න් ද තරුණ කාලයේ ලජ්ජාශීලි තරුණයෙකි. ඒ කතාව,
“මම විවාහ වුණේ ඌරුවරිගේ හීන් මැණිකා එක්ක. මම කැකුළියෝ එක්ක කතාකරන්න ලැජ්ජයි. යාළුවා විහිළු කරලා මට ලැජ්ජා හිතුණා. මම දුංකොළ වවලා වේළන තැනක වැඩකළා. හීන් මැණිකත් එතැන වැඩකළා. හීන් මැණිකගේ අයියා කැකුළියක් එක්ක යාළුවෙලා හිටියා. මම අයියගෙ උදව්වට ගියා. හීන් මැණිකා ගැන කියලා මට යාළුවෝ විහිළු කරනවා. අප්පිලැත්තන්ටයි, අම්මිලැඇත්තන්ටයි කවුදෝ කියලා මම කැකුළියක් එක්ක යාළුයි කියලා. ඒ වෙන කොටත් මම හීන් මැණිකා එක්ක යාළු වෙලා හිටියේ නැහැ.
අවුරුද්දකට විතර පස්සේ මම හීන් මැණීකට මගේ හිතේ ආදරය කිව්වා. මට තේරුණා ඇය මට කැමතියි කියලා. මේ බව කියලා මාස හතරකට විතර පස්සේ අපි අදහස් හුවමාරු කර ගත්තා. කොහොම හරි මේ සම්බන්ධය දැන ගත්තම අප්පිලැත්තෝ මට හොඳටම බැන්නා. කසාද බඳින්න හදන්නේ රස්සාවක් තියෙනව ද ගෙයක් තියෙනව ද කියලා ඇහුවා. මම ගෙදරින් යන්න ගියා. එකාලේ ගොවි හමුදාව කියලා එකක් තිබුණා. මම ඒ ගෙවල් හදන තැනක වැසිකිළි වළවල් කපන්න ගියා. එක වළකට රුපියල් විසි පහක් ගෙවනවා. මම නතර වෙලා හිටියේ මගේ බෑනා කෙනෙක්ගේ සහෝදරියකගේ ගෙදර.
අප්පිලැත්තෝ දැනගෙන මම ගියේ අර බෑනා එක්ක කියලා. සති දෙක තුනක් විතර ගියා. දවසක් බෑනා ඇවිත් කිව්වා මාමා ගෙදර යමු. නැත්නම් මාමාගේ අප්පිලැත්තෝ මාව මරයි කියලා. මම බෑනා ගැන හිතලා ගෙදර ආවා. ගෙදර ආවේ රෑ වෙලා. අම්මිලැත්තෝ දන්නවා ආවා කියලා. අප්පිලැත්තෝ දන්නේ නෑ. පහුවදා උදේ අප්පිලැත්තෝ මට කතා කළා. කැකුළි කැමති නම් අද දවස ඇතුළත එක්ක එන්න. මම කන්න අඳින්න ගෙවල් දොරවල් හැමදේම දෙන්නම් කිව්වා. ඒක මට ලොකු අභියෝගයක්. මම මේ ගැන හිත හිතා පාරේ යන කොට හීන් මැණිකේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක පාරේ එනවා හමු වුණා. මම හීන් මැණිකෙට කතා කරලා කිව්වා. මම ඇයට කතා කළේ දෙගිඩියාවෙන්.
මට පුදුම හිතුණා. හීන් මැණිකේ එෙවලෙම මා එක්ක එන්න කැමති වුණා. මම ඇයත් සමඟ ගෙදර ආවා. අම්මිලැත්තෝ උයනවා අපි එද්දි. අපි දවල්ට කෑවා. අප්පිලැත්තෝ හිතුවේ නැහැ, මම ඔහුගේ අභියෝගය බාර ගනීවි කියලා. මෙන්න හවස් වෙනකකොට හීන් මැණිකෙගෙ අයියා දිග පොල්ලකුත් අරගෙන එනවා මට ගහන්න. අම්මා ඔහුට කතා කරලා කන්න දුන්නා. පස්සේ ඔහු යන්න ගියේ අපට දැනමුතුකම් දීලා. පහුවදා ගෙයක් හදන්න ගත්තා. හේන් කරන්න පටන් ගත්තා. හැමදේටම ඇය මට උදව් කළා.
කවදත් ඔහුට ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. හෙටක් කියා දවසක් නැති බව ඔහු පවසා ඇත. ඔහු සෑම විටම පැවසුවේ ඔහු ජිවත් වන්නේ මේ මොහොතේ බවය. “ඕනෑම වෙලාවක මේ ජීවිතය දාලා යන්න මට පුළුවන්. ඒ මම කිසිම දෙයක් පොදි ගහන්නේ නැති නිසා. මගේ හිත බොහෝ ම සැහැල්ලුයි. ගහක් යට වුණත් මට සැනසිල්ලේ නින්ද යනවා… ඔහු එදා එසේ කිවුවත් මේ වෙන්විමනම් ඔහුට දරාගත නොහැකි වනු ඇත. නමුත් ඔහු සතුවූ තීක්ෂණ බුද්ධියත් ජිවිතාබෝධයත් සමඟ සියල්ල සම සිතින් දරා ගනු නියතය.
කෙසේවෙතත් සියල්ල සමඟ ඔහුට මේ වන විට දැනෙන දුකද ඒ සතුට එක්ක පසක් කර ගත හැකිය. ඉතින් ඇයට The Sunday Reader අපද නිවන්සුව පතමු.