වැදි ගම්මානේ කාගේත් ආදරණිය අම්මා හීන් මැණිකාත් යළි නොඑන ගමනක් ගිහිං

0
By: මේඝා..
වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මිය ගොස් ඇත. ඇය කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඒ අතරතුර මියගොස් ඇත.
හීන් මැණිකා දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි. දඹාන ගම්මානයට කිහිප විටක්ම විවිධ මාධ්‍ය ආවරණ සඳහාත් පුද්ගලිකවත් මා එහි ගොස් ඇත. ගිය සෑම විටදීම ඇයව අපව ආදරයෙන් පිළිගත් චරිතයකි. මවක් ලෙසද නායිකාවක ලෙස ඇය ආදරණිය මෙන්ම ගෞරවනීය සේවයක් ඉටුකළ තැනැත්තියකි.
ලෙන්ගතු චරිතයක් ලෙස සියල්ලෝම සමඟ සමගියෙන් වාසය කළ ඇය නිරතුරු සියල්ලට ආදර්ශවත් චරිතයක් විය. දඹාන ට ගිය කිහිප අවස්ථාවකදීම ඇය මුණ ගැසී කතා කල අයුරු මතක් වන විට දැනෙන්නේ අතිශය සංවේගයකි.
ඇය නිරතුරු අසනීපවී සිටි බව මට මතකය. ඇය විටින් විට අස­නීප වී තිබිණි. මීට අවු­රදු දහ­ය­කට පෙර (2005 පමණ ) ඇයට වකු­ග­ඩු­වක් බද්ධ කරන්න සිදු වූ අතර එවිට ඇයට අවශ්‍ය වකු­ග­ඩුව ලබා දෙන්නේ ඇයගේ දුවය. දරුවන් පස් දෙනෙකෙගෙන් යුත් එම පවුල බෙහෙවින්ම ආදරණිය පවුලක් විය. ඔවුන්ද සාර්ථක පවුල් ජිවිත සාමකාමීව ආදරයෙන් ගත කළේය. ඒ අනුව වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පසු නායකධූරය ලබන්නේ ඔහුගේ වැඩි­මල් පුතුටය.
නිහතමානී ගතිලක්ෂණ පෙන්වූ ඇය කතා කරන්න ලජ්ජාශීලි කාන්තාවක් වුවත් නිරතුරු ප්‍රියමනාප කාන්තාවක් වූවාය. හීන් මැණිකාට ලස්සනට සිනහවක් තිබිණි. දිනක් සාකච්චාවකදී වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්න් ඔහුගේ ආදරය ගැන මෙසේ මතක් කළේය. ඔහුට ද ඇයටද සාර්ථක අදර්ශමවත් පවුල් ජිවිතයක් මෙන්ම හරි ලස්සන අදර කතාවක් ද තිබිණි.
“මම විවාහ වුණේ අවු­රුදු තිහක් වගේ වය­සෙදි. ඒක ලොකු කතා­වක්” ඔහුට ඒ මතක මතක් කරන විටද දැනුනේ ඉමහත් සතුටකි. ඒ මතක කියන්න මුල් පුරද්දීත් ඔහු සිනහවූ අයුරු මට අද මතක් වන්නේය. ඌරුවරිගේ වන්නිල ඇත්තන්න් ද තරුණ කාලයේ ලජ්ජාශීලි තරුණයෙකි. ඒ කතාව,
“මම විවාහ වුණේ ඌරු­ව­රිගේ හීන් මැණිකා එක්ක. මම කැකුළියෝ එක්ක කතා­ක­රන්න ලැජ්ජයි. යාළුවා විහිළු කරලා මට ලැජ්ජා හිතුණා. මම දුංකොළ වවලා වේළන තැනක වැඩ­කළා. හීන් මැණි­කත් එතැන වැඩ­කළා. හීන් මැණි­කගේ අයියා කැකු­ළි­යක් එක්ක යාළු­වෙලා හිටියා. මම අයි­යගෙ උද­ව්වට ගියා. හීන් මැණිකා ගැන කියලා මට යාළුවෝ විහිළු කර­නවා. අප්පි­ලැ­ත්ත­න්ටයි, අම්මි­ලැ­ඇ­ත්ත­න්ටයි කවුදෝ කියලා මම කැකු­ළි­යක් එක්ක යාළුයි කියලා. ඒ වෙන කොටත් මම හීන් මැණිකා එක්ක යාළු වෙලා හිටියේ නැහැ.
අවු­රු­ද්ද­කට විතර පස්සේ මම හීන් මැණී­කට මගේ හිතේ ආද­රය කිව්වා. මට තේරුණා ඇය මට කැම­තියි කියලා. මේ බව කියලා මාස හත­ර­කට විතර පස්සේ අපි අද­හස් හුව­මාරු කර ගත්තා. කොහොම හරි මේ සම්බ­න්ධය දැන ගත්තම අප්පි­ලැත්තෝ මට හොඳ­ටම බැන්නා. කසාද බඳින්න හදන්නේ රස්සා­වක් තියෙ­නව ද ගෙයක් තියෙ­නව ද කියලා ඇහුවා. මම ගෙද­රින් යන්න ගියා. එකාලේ ගොවි හමු­දාව කියලා එකක් තිබුණා. මම ඒ ගෙවල් හදන තැනක වැසි­කිළි වළ­වල් කපන්න ගියා. එක වළ­කට රුපි­යල් විසි පහක් ගෙව­නවා. මම නතර වෙලා හිටියේ මගේ බෑනා කෙනෙක්ගේ සහෝ­ද­රි­ය­කගේ ගෙදර.
අප්පි­ලැත්තෝ දැනගෙන මම ගියේ අර බෑනා එක්ක කියලා. සති දෙක තුනක් විතර ගියා. දව­සක් බෑනා ඇවිත් කිව්වා මාමා ගෙදර යමු. නැත්නම් මාමාගේ අප්පි­ලැත්තෝ මාව මරයි කියලා. මම බෑනා ගැන හිතලා ගෙදර ආවා. ගෙදර ආවේ රෑ වෙලා. අම්මි­ලැත්තෝ දන්නවා ආවා කියලා. අප්පි­ලැත්තෝ දන්නේ නෑ. පහු­වදා උදේ අප්පි­ලැත්තෝ මට කතා කළා. කැකුළි කැමති නම් අද දවස ඇතු­ළත එක්ක එන්න. මම කන්න අඳින්න ගෙවල් දොර­වල් හැම­දේම දෙන්නම් කිව්වා. ඒක මට ලොකු අභි­යෝ­ග­යක්. මම මේ ගැන හිත හිතා පාරේ යන කොට හීන් මැණිකේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක පාරේ එනවා හමු වුණා. මම හීන් මැණි­කෙට කතා කරලා කිව්වා. මම ඇයට කතා කළේ දෙගි­ඩි­යා­වෙන්.
මට පුදුම හිතුණා. හීන් මැණිකේ එ‍ෙව­ලෙම මා එක්ක එන්න කැමති වුණා. මම ඇයත් සමඟ ගෙදර ආවා. අම්මි­ලැත්තෝ උය­නවා අපි එද්දි. අපි දවල්ට කෑවා. අප්පි­ලැත්තෝ හිතුවේ නැහැ, මම ඔහුගේ අභි­යෝ­ගය බාර ගනීවි කියලා. මෙන්න හවස් වෙන­ක­කොට හීන් මැණි­කෙගෙ අයියා දිග පොල්ල­කුත් අර­ගෙන එනවා මට ගහන්න. අම්මා ඔහුට කතා කරලා කන්න දුන්නා. පස්සේ ඔහු යන්න ගියේ අපට දැන­මු­තු­කම් දීලා. පහු­වදා ගෙයක් හදන්න ගත්තා. හේන් කරන්න පටන් ගත්තා. හැම­දේ­ටම ඇය මට උදව් කළා.
කවදත් ඔහුට ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. හෙටක් කියා දවසක් නැති බව ඔහු පවසා ඇත. ඔහු සෑම විටම පැවසුවේ ඔහු ජිවත් වන්නේ මේ මොහොතේ බවය. “ඕනෑම වෙලා­වක මේ ජීවි­තය දාලා යන්න මට පුළු­වන්. ඒ මම කිසිම දෙයක් පොදි ගහන්නේ නැති නිසා. මගේ හිත බොහෝ ම සැහැ­ල්ලුයි. ගහක් යට වුණත් මට සැන­සිල්ලේ නින්ද යනවා… ඔහු එදා එසේ කිවුවත් මේ වෙන්විමනම් ඔහුට දරාගත නොහැකි වනු ඇත. නමුත් ඔහු සතුවූ තීක්ෂණ බුද්ධියත් ජිවිතාබෝධයත් සමඟ සියල්ල සම සිතින් දරා ගනු නියතය.
කෙසේවෙතත් සියල්ල සමඟ ඔහුට මේ වන විට දැනෙන දුකද ඒ සතුට එක්ක පසක් කර ගත හැකිය. ඉතින් ඇයට The Sunday Reader අපද නිවන්සුව පතමු.