‘පාසල් පද්ධතිය ,පාසල දරුවන්ට ආරක්‍ෂාව සහිත භුමියක් බවට පත් කිරිම අප සියලූ දෙනාගෙ වගකීමයි’–ආරක්‍ෂක  රාජ්‍ය ඇමැති තෙන්නකෝන්

0

පවතින අයහපත්  කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථා වලදී පාසල ආරක්ශිත පරිසරයක් බවට සහතික කිරීම තුළින් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම අපගේ ආපදා කළමනාකරණ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 28) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ආපදා කළමනාකරණ සූදානම සම්බන්ධයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර  රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ අමාත්‍ය වරයා සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර, අවදානම් තක්සේරු කිරීම සඳහා දිස්ත්‍රික් කමිටු යාවත්කාලීන කර සක්‍රීය කරන ලෙස මෙම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත්, හදිසි අවස්ථාවන්ට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා හදිසි සැලසුම් සකස් කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත්‍ ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

“සුරකිමු” පාසල් සුරක්‍ෂා වැඩසටහනේ වැදගත්කම අවධාරණය කළ ඔහු දිවයිනේ පාසල් 10126 සිටින සියලුම සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවත් අදාළ බලධාරීන් සහ අදාල  රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර විශේෂ පාසල් කමිටු පිහිටුවීමට යෝජනා කිරීමට අදහස් කරන බවත් පැවසීය. මේ සඳහා පාසල් හී විදුහල්පතිවරුන් යටතේ ඇති ආදි ශිෂ්‍ය  සහ  ගුරු දෙගුරු සංගම්වල ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවද මෙහිදී ඔහු පැවසීය.

පාසල් මට්ටමින් ආපදා පෙර සූදානමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය වරයා  සෑම පාසලකින්ම අවම වශයෙන් මූලික ප්‍රථමාධාර සඳහා ගුරුවරුන් දෙදෙනකු බැගින් තෝරාගෙන පුහුණු කිරීමට සැලසුම් කර ඇති බවත්, නිසි පරිදි සූදානම් කරන ලද  ප්‍රථමාධාර කට්ටල පාසලේ ඇති බව සහතික කර ගැනීමට කටයුතු සිදු කරන  බවත් පැවසීය.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේදී අමාත්‍ය තෙන්නකෝන් “සුරකිමු”පාසල් සුරක්‍ෂා වැඩසටහන ඇතුළු ක්‍රියාකාරී වැඩසටහන් පිළිබඳ විස්තර කළ අතර ඉදිරියේ දී සිදු කිරීමට නියමිත  පාසල් සිසුන්ට ප්‍රතිලාභ සැලසෙන වැඩසටහන්  සඳහා ඔවුන්ගේ සහායද ඉල්ලා සිටියේය.

හදිසි ආපදා කළමනාකරණ කටයුතු වලදී මුහුණ දෙන ඇතැම් නීතිමය බාධාවන් මඟහරවා ගැනීම සඳහා විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා වැඩ්දුරටත්  පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.