ජීවිතේ ජය ගත් අපි නොදන්න ශ්‍රී ලාංකික රංගන ශිල්පියා …. ලක්ෂාන් අබේනායක

0
ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේවල් ඒ විදියටම ඉෂ්ට වෙන තැනක් නෙමෙයි. අපේ ජීවිතේ අපට එක් එක් අවධිවලදී නොහිතෙන ඉරණම වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දෛවය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. තමන්ගේ උපන් රටේ දී තමන්ව මරා දමන්න උත්සාහ කරන වෙලාවක ඔහු කිසිම අරමුණක් නැතිව රට අතහැරලා යන්න යනවා. ඒ අතේ සල්ලි බාගෙ තිබිලා නෙමෙයි. මොකද රටකින් රටකට යන්න තරම් මහා ලොකු ධනවත් කමක් ඔහුට තිබුණෙ නැහැ. ඔහු ඉපදුනේ මාතර මැද වත්තෙ සාමාන්‍ය පවුලක.

ඒ 88 භීෂණය පිළිබඳව මේ රටේ ජීවත් වෙන කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕන කමක් නැහැ. ඒ වෙලාවේ රටේ හිටපු තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් අමු අමුවේ ඝාතනය කළා. ඒ වෙලාවේ අහේතුකව දේශපාලනයට මැදිහත් වෙන්නට සිදුවුණු  ලක්ෂාන් ට වෙලා තිබුණෙත් ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් ජීවිතේ අවසන් ගමන යන්නට. මොකද රටේ තරුණයන් බලාත්කාරයෙන් තමන්ගෙ  දේශපාලන වැඩ වලට යොදාගන්න එක් පිරිසක්  උත්සාහ කරද්දී රට පාලනය කරපු  අය කළේ ඒ තරුණ යන්න ජීවිත ගමනින් ඉවත් කර දමන එක. ඒ පිළිබඳව අතීතය දන්නා අයට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ලක්ෂාන් එක්ක ඒ ගැන කතා කරල
හිඳිමුකො.

ලක්ෂාන් ඇයි ඔබ ලංකාවෙන් යන්න හිතුවෙ?

ඒ මගේ උපන් රට මාව මරන්න හොයපු නිසා. තමන් උපන් රට තමන්ව මරන්න හොයන කොට කවුරුත් කරන දේ තමයි මමත් කළේ. ජීවිතේ බේරාගෙන රටෙන් පිටවෙන එක.

86 ඉඳලා රට තුළ පැවැති වාතාවරනය කවුරුත් දන්නවා. ඒ පීඩනයත් එක්ක අපි හිටියෙ ගෙවල් වල හිර වෙලා. ඒ කාලෙදි එක් එක් අය එයාලගෙ  දේශපාලන වැඩ වලට අපව සම්බන්ධ කරගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මට රට හැරලා යනවා කියන තීරණය ගන්න තැනට එන්න උනේ. එහෙම නොගිය නම් අද මං ජීවතුන් අතර නොහිටින්න තිබුණා.

අරමුණක් නැතිව රටෙන් පිටවුණු ඔබ ප්‍රංශයෙන් මතුවෙන්නෙ නළුවෙක් විදියට. කොහොමද ඒ තැනට ආවෙ?

මං ප්‍රංශයට  යන්න හිතාගෙන ගිය ගමනක්  නෙවෙයි.  ඒ වෙලාවේ හිතුවේ ජීවිතේ බේරගෙන රටෙන් එළියට යන්නේ කොහොමද කියන කාරණාව ගැන විතරයි. ඒත් ඒ ගමන මගෙ ජීවිතේ ම වෙනස් කරනවා.

කොහොමද රංගනයට අවස්ථාව ලැබෙන්නෙ ?

මට අහම්බෙන් මුණ ගැහුනු එරට ප්‍රකට රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් රඟපාන්න අවස්ථාවක් දෙන්න කැමැති ද අහනවා. ඒත් රංගනය ගැන කිසිම හැදෑරීමක් නැතුව ප්‍රංශය වගේ රටක කලාවට පය ගහන්න මං බය වුණා. ඒ ගැන කිව්වම ඒ නිෂ්පාදකවරයා මාව සිනමා පාසලකට ඇතුළු කරනවා. කලාව ගැන ඉගෙන ගන්න. මාස අටකට පස්සෙ මං ඒ සිනමා පාසලෙන් එළියට එන්නෙ රංගනය කියන්නෙ මොකක්ද කියලා හොඳ හැදෑරීමක් එක්ක. ඉන් පිටවෙනවත් එක්කම මට ටෙලිනාට්‍යයක රංගන අවස්ථාව ලැබෙනවා. ඒ අනුව  කුලී රථ රියදුරෙකුගේ චරිතය රඟපාන්න අවස්ථාව උදාවෙනවා.

ඒ ලද අවස්ථා පිළිබඳව ඔබ සෑහීමකට පත් වුණාද?

කලාව කියන දේ  කුඩා කාලයේ පටන්ම මගෙ ඇඟ ඇතුළෙ තිබුණු බව මං දැනගෙන හිටියා. ඒත් අවස්ථාවක් ලැබුණෙ නැහැ. ප්‍රංශයෙදි මගෙ හැකියාව ඉස්මතු කර ගන්න අවස්ථා ලැබෙනවා. ඒකෙන් මං අදහස් කරන්නෙ නෑ මගෙ හැකියාවන්ට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා. ඒත් ලද දෙයින් මං ප්‍රයෝජන ගත්තා. ඇත්තටම මට මහා ලොකු චරිත ලැබෙන්නෙ නැහැ. ඒත් ලැබුණු සුළු චරිතයට පවා උපරිමය කරන්න මං මහන්සි ගත්තා. කාලයක් යනකොට මට දිනපතාම වැඩ ගලාගෙන එන්න ගත්තා.

ඒ තරමටම ප්‍රංශයට ඔබේ රංගනය අල්ලා ගිහින්?

ප්‍රංශය වගේ අද්විතීය සිනමාවක් තියෙන රටක සුළු චරිතයක් හරි ලැබීම භාග්‍යයක්. හැබැයි මට ප්‍රංශයෙදි වාසනාව අරගෙන ආවෙ මගෙ කළු සම. එරට හිටියෙ ඉන්දීය පෙනුමක් සහිත නළුවන් දෙතුන් දෙනයි. ඉතින් ඒ කිහිප දෙනාට හොඳ ඉල්ලුමක් තිබුණා. මං හරියට වැඩ කළේ දෛනික රැකියාවක් කරනව වගේ.  ඒ හැමදේම මට ලැබෙන්නෙ මා තුළ සැඟවිලා හිටපු රංගන ශිල්පියව අවදි කර ගත්තෙ ඒ අය.

ඔබ ලංකාවට වෛර  කළාද?

නැහැ, මම ලෝකෙ කොහෙ හිටියත් මගෙ උපන් රට ලංකාව. ඒක අමතක කරලා ජීවත් වෙන්න මං උත්සාහ කළේ නැහැ. හැබැයි මගෙ උපන් රට මාව මරන්න හෙව්වා කියන සිතුවිල්ල මගෙ හිතේ කොනක තියෙන්න ඇති. ඒ වගෙ දෙයක් හිතන තරම් ඉක්මනින් අමතකව යන්නෙ නැහැ. ඇත්තටම ලංකාවෙන් ගියාට පස්සෙ මං ගොඩක් වෙනස් වුණා. ඒ වෙනස් වුණු  ජීවිතයේදී මට ලෝක ප්‍රකට නළු නිළියන් වගේම  නිර්මාණකරුවන් ඇසුරු කරන්න ලැබුණා. ගොඩක් වෙලාවට ලංකාවෙ අය හිතන්නේ රූපයෙන් සුදු නැත්නම් ලස්සන නෑ කියන මානසිකත්වයෙන්. ඉතින් එය මිනුම් දණ්ඩත් එක්ක සුදු නැත්නම් දක්ෂතාව කොච්චර තිබ්බත් වැඩක් නෑ. එහෙම පසුබිමක් තුළ මට දැනෙනවා ප්‍රංශයේ දී මගේ දක්ෂතාවයට සාධාරණයක් නොලැබුණාම වුණත් ඒ අය මට ලබා දීපු දේ මං ආසාවෙන් කළා . ඉන් මම හොඳ වින්දනයක් ලැබුවා. යම් දෙයක් මගේ ඇඟ ඇතුලෙ තිබුන නම් එයාලා ඒ දේ එළියට ගත්තා.

ඇත්තටම ප්‍රංශය අද හරියට මගේ ගෙදර වගේ. මම එහි අංශුවක් බවට පත්වෙලා ඉවරයි. ඒ වුණත් මං අමතක කරන්නෙ නැහැ මගේ උපන් රට ලංකාව බව. ලංකාවේ ඉපදුනත් මං ලෝකය හඳුනගන්නෙ ප්‍රංශයට ගියාට පස්සේ. කොහොම වුණත් ප්‍රංශයට  ගියා කියලා, මම අතීතය අමතක කළේ නෑ. මං අදටත් කියන්නේ මං සාමාන්‍ය පවුලකින් ආව කෙනෙක්. මායි මගේ සහෝදර සහෝදරියනුයි උස් මහත් කරන්න මගේ අම්මා තාත්තා ගොඩක් දුක් වින්දා. ඒ ජීවිතයේදී ආව කරදර මෙච්චරයි කියන්න බැහැ. ඒ හැම දේමත් එක්ක අවසානයේදී මගේ ඇඟ ඇතුලෙ හැංගිලා හිටපු කලාත්මක මිනිසාව අවදි කරවන්න මට ප්‍රංශෙ දී හැකියාව ලැබුණා. ඉන් උපරිම ප්‍රයෝජන ලබාගන්න මම අමතක කළේ නැහැ.