සත්සර පාරමිතා පුරමින් රට වටා යන කීර්ති

0
ප්‍රවීණ ගායක, සංගීතවේදී කීර්ති පැස්කුවල්ගේ සංකල්පයකට අනුව ඔහුගේ හෙල්ප් සර්කල් සමාජ සත්කාරක ආයතනය හා අනුබද්ධිතව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි සංගීතයට දක්ෂ අඩු ආදායම් ලාභී දරුවන් දහසකට වයලින් ප්‍රදානය කරමින් “සත්සර පාරමිතා” පුරමින් මේ දවස්වල රට පුරා යන කීර්ති පැස්කුවල් සමඟින් ඒ පිළිබඳව කතා කරන්න අපි අදහස් කළා.

“සත්සර පාරමිතා” පුරමින් මේ දවස්වල රට වටේ යන බව දැනගන්න ලැබුණා. ඇත්තටම මොකක්ද මේ?

ලංකාව පුරා ජීවත් වෙන අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත් වෙන සංගීතයට දක්ෂතාවක් තිබෙන දරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය කලාප අධ්‍යක්ෂ වරුන්ගේ නිර්දේශය මත හඳුනාගෙන ඔවුන් අතරින් දහසකට වයලීන් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එය සත්සර පාරමිතා ලෙසින් හඳුන්වනු ලබනවා.

එවන් සත්කාරයක් කරන්නට ඔබට හිතෙන්නේ ඇයි ?

මම හැමදාමත් මගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රිය සාදයක් පවත්වා වෙනුවට විශේෂිත වූ වැඩසටහනක් තුළින් සමාජයට යම්කිසි වැඩදායි දෙයක් කරන්න කාලෙක පටන් පුරුදුව හිටියා. ඒ අනුව මෙවර මගේ උපන්දිනය වෙනුවෙන් මම තීරණය කළා සංගීතයට දක්ෂ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්  දහසක් තෝරාගෙන ඔවුන්ට වයලින ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.

මේ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද ?

හෙල්ප් සර්කල් ආයතනයේ අධ්‍යක්ෂිකාවන් දෙන්නෙක්  වන නීතිඥ නිරංගා නානායක්කාර  සහ නෙලුම් ජයවීර දෙදෙනා ඇතුළු එම සමාජ සත්කාරක වැඩසටහනට සම්බන්ධ වූ සියල්ලන්ම ඒ කාර්යය උදෙසා කැපවී කටයුතු කරනවා. මෙමඟින් උදව් අවශ්‍ය අය සඳහා උදව් ලබා දීම සඳහා සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් දානපතියන් බොහොමයක් අපේ සමාජ සත්කාරක ආයතනය සමඟින් එකතු වී සිටිනවා. එමගින් පිහිටක් අවශ්‍ය අයට සහනයක් සලසා දීම තමයි අපේ අරමුණ වෙන්නෙ.

මේ සත්සර පාරමිතා යටතේ ඒ වයලින් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

මේ සමාජ සත්කාරක කාර්යය ආරම්භ කළේ ජනවාරි 29 වැනිදා මගේ උපන් දිනයට සමගාමීව. ඒ අනුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඇරඹි මෙම වැඩසටහනේදී බස්නාහිර පළාත නියෝජනය කරමින් හඳුනාගත් දරුවන් 100 දෙනෙකුට වයලින් ප්‍රදානය කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් දරුවන් 30 දෙනෙකුට වයලීන් ප්‍රදානය කරමින් මේ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. ඉන් අනතුරුව ලංකාවේ පළාත් නවයම ආවරණය වන ආකාරයට දරුවන් වෙනුවෙන් වයලීන් ප්‍රදානය කිරීමේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

මේ සද් කාර්යයන් අතර තුර ඔබගෙ නිර්මාණ කාර්යයන් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද ?

කොච්චර කාර්යබහුල වුණත් මගෙ සංගීතමය කටයුතු පෙර පරිදිම කෙරීගෙන යනවා. ඒ අනුව මගේ අලුත්ම ගීත දෙකක් පසුගිය දිනවල නිකුත් කරන්නට පියවර ගනු ලැබුවා. එහිදී “ආදරියේ කවිකාරියේ” නැමැති ගීතයේ රූප රචනාව සඳහා මා සමඟින් නදීශා හේමමාලි සහභාගි වූවා. කෙතරම් කාර්යබහුල වුණත් මගේ රසික රසිකාවියන් වෙනුවෙන් අලුතෙන් නිර්මාණයක් කරන්න මම අමතක කරන්නෙ නැහැ. මොකද කලාකරුවන් වන අපේ ජීවිතේ අපි අද භුක්ති විඳින හැම සැප සම්පතක්ම අපට ලැබෙන්නෙ ඒ රසික ආදරේ නිසා. ඉතින් ඒ අය වෙනුවෙන් සංගීතමය පැත්තෙන් දෙයක් කරන්නට වගේම ඒ අයගෙ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමයෙන් සමාජ සත්කාරකයන් ඉටු කිරීමට මම අදිටන් කරගෙන ඉන්නවා.

ඉතින් ඒ රසික ආදරේ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ?

මේ වෙනකොට මගේ රසික පිරිස් කොට්ඨාස දෙකක්ම ඉන්නවා. එක් කොටසක් සුපුරුදු විදියට මගේ ගීත ප්‍රිය කරපු අය. අනෙක් කොටස සමාජ සත්කාරක වැඩසටහන් ඔස්සේ මා වෙත ප්‍රතිචාර දක්වන පිරිස්. මේ දෙගොල්ලොම මට ආදරේ කරනවා. ඒ අයගෙ ප්‍රශ්න කතා කරනවා. සමහරු ලෙඩ දුක් ගැන කියනවා. තවත් සමහරු අධ්‍යාපනයට   උදව් බලාපොරොත්තු වෙනවා. තවත් පිරිසක් නිවෙසක් හදා දෙන්න කියා ඉල්ලීම් කරනවා. මේ හැමෝටම අපේ සමාජ සත්කාරක ආයතනය යටතේ අපට පුළුවන් ආකාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ හැමෝම වෙනුවෙන් මගේ දුරකථනය විවෘතව තියෙනවා. මට සෙකට්‍රිලා  නැහැ. මැනේජර්ලා නැහැ. ඒ අයගෙ දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබා දෙන්නෙ මමමයි. ඉතින් ඔය ඕනෙම කෙනෙකුට ඔබේ ප්‍රශ්නයක් පිළිබඳව මා සමඟින් කතා කරන්න පුළුවන්.

එවන් තත්ත්වයක් තුළ ඒ රසික ආමන්ත්‍රණය ඔබට කරදරයක් කියා හිතෙන අවස්ථා නැද්ද?

කොහෙත්ම නැහැ. මම අද මෙතැන මේ විදියට ඉන්නෙ මට ආදරේ කරපු රසිකයන් නිසා. ඉතින් ඒ අයගෙ ඇමතුමකට පිළිතුරු දෙන එක, ඒ අයගෙ දුකකට කරදරයකට පිහිට වෙන එක මට කිසිසේත්ම කරදරයක් නෙවෙයි. ඇත්තටම ඒ රසික ආදරේ මගේ ගමනට ආශිර්වාදයක්. ඉතින් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ මේ ජීවත් වෙන කාලයෙ මිනිසුන් ගෙ යහපත වෙනුවෙන් දෙයක් කරන්න. ඒ වගේ කරන යහපත් දේ කවදහරි අපි මේ ලෝකෙ නැති දවසකත් ඒ විදියටම මතකයේ තියේවි.