කොවිඩ් නිසා කඩා වැටුණු සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යළි නගා සිටුවීමට වැඩි අවධානයක්

0
කොවිඩ් වසංගතයත් සමග මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ආණ්ඩුව ගත යුතු ගත හැකි සෑම පියවරක් ම ගෙන තිබෙනවා….
 ඒ වෙනුනේ කෙටිකාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි…
 කොවිඩ් නිසා කඩා වැටුණු සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යළි නගා සිටුවීමට වැඩි අවධානයක්….
 මේ වසරේ පෙබරවාරි මස 12 වෙනිදා දක්වා සංචාරකයන් 121,948 ක් ශ්‍රී ලංකාවට ඇවිත්…
ඇමති ප්‍රසන්න රණතුංග
කොවිඩ් වසංගතයත් සමග මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ආණ්ඩුව ගත යුතු ගත හැකි සෑම පියවරක් ම ගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ වෙනුනේ කෙටිකාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දෙයි.
රට තුල පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි දැක්මක් සහ වැඩපිළිවෙලක් ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවත් යුද්ධයෙන් පසු රට සංවර්ධනය කළ නායකයන්ට වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම අභියෝගයක් නොවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
රටේ වර්තමාන තත්ත්වය පිළිබද මිනුවන්ගොඩ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරිම අද (13)මිනුවන්ගොඩ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කලේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
 විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා රටේ පවතින ආර්ථික අර්බුදයට වග කියන්න ඕන වත්මන් ආණ්ඩුව කියලා කියන්න උත්සාහ කළත් මේ රට මේ මොහොතේ මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදවලට හේතුව කොවිඩ් වසංගතයයි. මේක අපේ රටට පමණක් මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වයක් නෙමෙයි. මේක මුලු ලෝකයටම පොදු තත්ත්වයක්. අපි මේ තත්ත්වය හොදින් වටහා ගත යුතුයි. විපක්ෂය රටේ ආර්ථික අර්බුදය පිළිබදව බොරු බිල්ලන් මවනවා. විපක්ෂය මවන බොරු වලට නෙමෙයි අපි ඇත්තටයි මුහුණ දිය යුත්තේ.
ලෝකයේ බොහෝ රටවල් අපි මුහුණ දෙන ආර්ථික අර්බුදවලට සමාන ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් තිබෙනවා. අපි රටක් ලෙස මේ මොහෝතේ එක්ව කටයුතු කළ යුතුයි. ආණ්ඩුව මේ ආර්ථික අර්බුදය ඉතා හොදින් හදුනාගෙන එය විසදීම සදහා ගත යුතු ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. ඉදිරි මාස කීපය තුළ අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකියි. ඒ සදහා අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා.
කොරෝනා වසංගතයෙන් ලෝකයේ වැඩිම පීඩාවට පත්වුණේ සංචාරක හා ගුවන්සේවා කර්මාන්තයයි. මෙලෙස කඩා වැටුණු සංචාරක හා ගුවන් සේවා කර්මාන්තය   මේ  වන විට යථාතත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කොවිඩ් නිසා කඩා වැටුණු අපේ රටේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කලා. ගුවන් සේවා ක්ෂේත්‍රය ගත්තොත් කොරෝනා වසංගත තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දීමට පෙර මෙරටට පැමිණි බොහෝ ගුවන් සේවා නැවත අපේ රටට ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේ දි අපේ රටට මෙතෙක් නොපැමිණි ජාත්‍යන්තර ගුවන් සේවා ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.   ඒ සදහා අපි ඉදිරියේ දි අවශ්‍ය පියවර ගන්නවා.
 සංචාරක ව්‍යාපාරය ක්‍රමානූකූලව නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. පෙබරවාරි මාසයේ  පසුගිය දවස් 12 ට මෙරටට සංචාරකයන් 39,621 පැමිණියා.  මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි 12 වන දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 121,948 ක්. මින් වැඩිම සංචාරක පිරිසක් මෙරටට ඇවිත් තියෙන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන්. 18,960 ක් රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් මෙරටට පැමිණ තිබෙනවා. පහුගිය වසර අවසන් වන විට මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 ක්. මේ සංඛ්‍යා ලේඛණ දිහා බලපුවාම හොදින් පැහැදිලි වෙනවා අපේ රටේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව.
මේ වන විට ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. පහුගිය ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් බහුතරය පැමිණ ඇත්තේ යුරෝපා රටවලින්. ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් 82,327 න් 56,605 ක්ම යුරෝපා රටවලින් පැමිණි අය. ආසියා හා පැසිෆික් කළාපයෙන් පැමිණි සංචාරකයන් ගණන 19,531ක්. මැද පෙරදිගින් සංචාරකයන් 2080 ක් ඇමෙරිකානු කළාපයෙන් 3691 වගේම අප්‍රිකාවෙන් 420 ක් පැමිණ තිබෙනවා.
විපක්ෂය හැමවිමට උත්සාහ දරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නයි. ඔවුන් මේ රටේ පවතින ආර්ථික අර්බුදය  තවදුරටත් ඔඩු දුවනවාට කැමතියි. කොවිඩ් වැඩිවෙලාහරි ජනතාව මැරිලා හරි රටේ බලය ඔවුන්ට ලැබෙනවානම් ඒ අය කැමතියි. නමුත් අපි කිසිසේත් එවැන්නකට ඉඩ තබන්නේ නෑ. අපි අපේ උපරිමයෙන් කටයුතු කර මේ රට අද පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කටයුතු කරනවා.
මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර යන මහත්ම මහත්වරුන් ද මෙහි දි කථා කළහ.