පුරාවිද්‍යා – කෞතුකාගාර සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කෙරේ

0
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර ජාතික අරමුණු ඉටු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.
රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික  සංවර්ධනයත් තිබිය යුතු බව අයවැය 2022, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සාහිත්‍ය කලාව උසස් මට්ටමකට පත් කිරීමට කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා චිත්‍රපටි සංස්ථාව දියුණු කිරීමට කටයුතු කරන බවද ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සියලුම ආගම්වලට ආරක්ෂාව දීම අපගේ වගකීම බවත් සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය හා සුභ සාධනය වෙනුවෙන්ද කටයුතු කර තිබෙන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.
ආගමික හරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද  වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු හරහා වැය කරන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා ආගම් අතර සහජීවනය වැඩි දියුණු කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව   ජීවත් වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙන් මේ සියල්ල සිදුකරන බව පැවසීය.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සභ්‍යත්වය, දහමින් දැනුමෙන් හා විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය, අතීතයේ ආරක්ෂා කර ගත් පරිදිම ආරක්ෂා කර ගැනීම අප හැම දෙනාගේම ජාතික වගකීමක් යැයි ද පැවසීය