ජාත්‍යන්තර අත පෙවීම්වලට රටට මුහුණපෑමට සිදුව තිබෙ-හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

0
ශ්‍රී ලංකා රජයට කෘෂිකර්මාන්තය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ අනතුරකට ලක්ව ජාත්‍යන්තර අත පෙවීම්වලට රටට මුහුණපෑමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2015 වනවිට ලෝක ආර්ථික අර්බුධයක් පැවතුනත් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධූරයට පත්ව පැය 48 ක් ඇතුළත ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකර ජනතාවට සහන ලබාදුන්නේ නිසි ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාකළ නිසා බවත් වත්මන් ආණ්ඩුවට ඒවැනි ප්‍රතිපත්තියක් හෝ හැකියාවක් නොමැතිකම නිසා අද වනවිට භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ නව තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ඉදිකිරීමට යෝජිත අඩි 15 ක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගුව පැනයකට පිළිතුරු දෙමිණි.

සිංහල ශබ්දකෝෂයේ හිටපු කතෘ, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් සහ විද්‍යාලෝක පිරිවෙනේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පිනිකහනේ සමිත නාහිමිගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට නියමිත අතර ඊට මුල්ගල තැබීම ඇමති රමේෂ් පතිරණ සහ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් සිදු කෙරිණි.

එම උත්සවය ආරම්භ කිරීමට මත්තෙන් ඒහි පැමිණ සිටි මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් වර්තමානයේ රටේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව විමසා සිටි අතර එලෙස මාධ්‍යවේදීන් නැගුව ප්‍රශ්න සහ ඊට ඒ් මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය  :

සභාපතිතුමා මේ වෙනකොට එක රටක් එක නීතියක් පිළිබඳව ජනාධිපති කොමිසක් පත් කරලා තියෙනවා. එම සභාපතිධූරයට පත් කළ ස්වාමින් වහන්සේ පිළිබඳ යම් යම් විවේචන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද ?

පිළිතුර :

මං හිතන්නේ ආණ්ඩුව මැතිවරණයේදී කළ නොහැකි කාරණා සම්බන්ධයෙන් ජනතාව උසී ගන්වා  ඒ අනුව විවිධ මැතිවරණ  පොරොන්දු ලබාදී තිබෙනවා. දැන් මේ මැතිවරණ පොරොන්දු යථාර්තයක් බවට පත් කරගන්න රජය උත්සාහ දරණ බව පේනවා. හැබැයි එක රටක්, එක නීතියක් කියන කාරණයේදී නීති රීති එන්න කලින් ලෝකයේ සංස්කෘතින් අනුව තමයි ලෝකයේ රටවල් පාලනවය වීම සිදුවෙලා තිබෙන්නේ. එතතොට ඒ ඒ සංස්කෘතින් වලට අදාල කටයුතු කිසිම නීතියකින් මං හිතන්නේ නෑ පාලනය කරන්න පුලුවන්කමක් තියෙනවා කියා මන් හිත්නනේ නැහැ.

ප්‍රශ්නය  :

දැන් මේ ජනාධිපති කොමිසමේ සභාපති ධූරයට පත් කළ ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ පිළිබඳව විවිධ විවේචන මතුව තිබෙනවා. උන්වහන්සේ මෙම ධූරයට පත් කිරීම පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර : 

උන්වහන්සේ පිළිබඳව මේ වෙලාවේ මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ගරුතර මහා සංඝරත්නයක් හැටියට බුදු දහම අනුව ක්‍රියා කළ යුතුයි කියා තමයි මං විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය  :

රසායනික පොහොර නතර කර කාබනික පොහොර හඳුන්වාදීමට රජය පියවර ගත්තත් මේ වනවිට එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. තවමත් ඒගැටලුවට විසඳුම් නැහැ. චීනයෙන් ගෙන්වන කාබනික පොහොර භාවිතයට නුසුදුසු ඒවා බවට මේ වනවිට විවේචන ඒල්ල වෙමින් තිබෙනවා. නමුත් කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශකර තිබුණේ පිටරටින් ගෙන්වන මෙම පොහොර තුන්වන පාර්ශවයකින් පරීක්ෂා කරන බවයි. මේ පිළිබඳව ඔබතුමන්ගේ මතය දැනගන්න කැමතියි.

පිළිතුර : 

ඇමතිවරුන්ට මේ සම්බන්ධයෙන් කළ හැක්කක් නැහැ. රජයට කෘෂිකර්මානත්ය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවයට අනතුරක් ඇති වී තිබෙනවා. කෘෂිකර්මාන්තය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ලෝක ජනතාවගේත් ශ්‍රී ලාංකික ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාවයක් ඇතිවන ආකාරයටයි.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති වී තිබෙන අනතුර හරහා එය ජාත්‍යන්තරයේත් තරඟයක් බවට පත්ව තිබෙනවා. ලොව විවිධ බලවත් රටවල් දැන් උත්සාහ කරන්නේ ඒ තරඟයට ඇතුළ්වීමටයි. අද ශ්‍රී ලංකාව තුළ සිදුවන්නේ ඒ තරඟය බෙදාහදා ගැනීම බව කිව යුතුයි. රජයට නිසි ප්‍රතිපත්තියක් නැති නිසා මේ අවාසනාවන්ත තත්ත්වය උදා වී තිබෙනවා.

ප්‍රශ්නය  :

පොහොර ගෙන්වීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව තිබෙන බවට චෝදනා ඒල්ල වෙනවා නේද?

පිළිතුර :

මේ පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පළ වී තිබෙන බව මා දුටුවා. ඒලෙස ඒ පිළිබඳව කරුණු තිබෙනවා නම් ඒ් ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ හැකියි. ඒ වගේම රටේ තිබෙන නීතී පද්ධතිය හරහා ඒ සම්බන්ධව කරුණු සොයා බලා කටයුතු කළ හැකියි.

ප්‍රශ්නය  :

සහල් මිල පාලනයෙන් මේ වනවිට රජය ඉවත් වී තිබෙනවා. මේ නිසා සහල් මිල අද වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. සීනී සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවලත් මිල ඉහළ යනවා. ඒ වගේම ඒම භාණ්ඩවල හිඟයකුත් පවතිනවා. මෙලෙස මිල පාලනයක් නොමැතිව කටයුතු කළ හැකිද?

පිළිතුර :

මිල පාලන දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරිය නිසිලෙස සිදුකිරීමට නම් රජයට මිල පාලනය ගැන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒලෙස රජයට ප්‍රතිපත්තියක් නොමැතිනම් මිල පාලන දෙපාර්තමේන්තුවට කළ හැක්කක් නැහැ. එය තමයි යථාර්තය.