නාවලපිටිය රෝහල මධ්‍යම රජයට පවරයි

0

වතු ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් උදාකර දීමට පළාත් සභාවට ඇති නාවලපිටිය රෝහලේ  හිමිකම අත්හැරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ තීරණය ඉතා වටිනා මෙන්ම හොඳ ආදර්ශයක්.
– සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා

මධ්‍යම පළාත්  සභාව යටතේ පැවති නාවලපිටිය දිස්ත්‍රික් රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනයට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදීමේ අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේත්,  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේත් සහ පලාත් ප්‍රධාන ලේකම් ගාමිණී රජාරත්න මහතාගේත්, රේඛිය හා පළාත් සෞඛ්‍ය බලදරින්ගේ සහභාගිත්වයෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය පරිශ්‍රයේදී (6) සිදු විය.ඉතා අවම පිරිසකගේ සහභාගිත්වයෙන්  චාම් සරල උත්සවයකින් මෙම කටයුක්ත  සිදුවූ අතර,මෙහිදී  අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

නාවලපිටිය රෝහල ලෙස අද සලකන මේ රෝහල අතීතයේ දී බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කොට පසුව දිස්ත්‍රික් රෝහලක් දක්වා දියුණුව ලබා ගිනිගත්හේන, කොත්මලේ ආදී වතුකරයේ ජනතාවගේ ප්‍රධානතම රෝහලක් ලෙසින් අද  සැලකෙන මෙම රෝහල මධ්‍යම  රජය වෙත පවරාදීම මගින්, එම රෝහල සංවර්ධනය තුළින් මානව හා භෞතික සම්පත් ඉහළ නංවමින් අනෙකුත් රෝහල්හි තදබදය අවම කිරීමට හැකියාව ඇති අතර, පළාත් සභා හෝ මධ්‍යම රජය කරන සියලු කාර්යන්හි අවසාන පරමාර්ථය මහජනතාව වෙත අවශ්‍ය සේවය ලබා දීමයි. එබැවින් ඒ සදහා ඉදිරියටත් වඩා කර්යක්ශම තීරණ  වලට යොමුවෙමින් ජනතා යහපත් උදෙසා කටයුතු සිදුකරනවා.

මධ්‍යම රජයට රෝහල පවරා ගැනීම තුළින් එම රෝහලේ මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීමට වඩා හොද අවස්ථාවක් ලැබෙන බවත් නාවලපිටිය හා අවට සියලු ජනතාව වෙත මෙය මහත් සහනයක් හා පහසුවක් වනු ඇතිවන බවත්  පේරාදෙණිය,නුවරඑළිය,දික්ඔය, හැටන්,ගම්පොළ ඇතුළු රෝහල්වල තදබදය අවම කිරීමට හැකිවනු ඇති  බවත් පවසමින්,
මධ්‍යම රජයට පවරා දුන් නාවලපිටිය රෝහලේ දැනට පවතින හෙද හිඟය ඇතුළු අනෙකුත් ගැටලු නිරාකරණය කර දී පළාතේ ප්‍රධානතම රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් ද සිදු
කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එච්.එන්.ජයවික්‍රම , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් , මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන්ද සහභාගි විය.