Political fact / දේශපාලන කතාබහ

0
By : අශන්ති වරුනසුරිය 
සංචාරකයින්ට රට ඇරීම පෙරට 
ඉකුත් සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වූයේ zoom තාක්ෂණය ඔස්සේයි. ඒ ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගිවීමට  පිටත් වීමට පෙරයි.
වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් එන්නත් කරණය කිරීමේ වැඩපිළිවෙළ ඉතාමත්ම සාර්ථක වුවත් වයස අවුරුදු දහ අටත් තිහත් අතර තරුණ තරුණියන් එන්නත්කරනය  සඳහා  පසුගාමි තත්ත්වයක් පවතින බවත් එහිදී  වෛද්‍යවරු පෙන්වා දුන්නේය.  එන්නත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර  ගෙනයාම ඊට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද  එහිදී කියැවිණි.
එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක වීම හරහා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වීම සහ මරණයට පත්වීම වැළකෙන බව  වෛද්‍ය අංශ අනාවරණය කරයි. එවැනි පසුබිමක එන්නත් කරන වැඩසටහන් සඳහා තරුණ තරුණියන් සහභාගි වීම  වළක්වමින් “එන්නත නිසා දරුඵල අහිමි වේ ” ආදී අසත්‍ය ප්‍රචාර  හේතුවෙන් තරුණ තරුණියන්  ප්‍රතිශක්තිකරන එන්නත ලබා නොගෙන සිටින බව ද එහිදී පෙන්වා දුන්නේය.
කතාබහට එක් වූ  සංචාරක  අමාත්‍යවරයා ” ගම්පහ දිස්ත්රික්කයේ  තරුණ සේවා සභාව ග්‍රාමීය සංවිධාන  සහභාගිත්වයෙන්  තරුණ තරුණියන්ට එන්නත ලබා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කරනවා.ඒ වගේම අපි සංගණනයක් මගින් ඒ ඒ වයස් කාණ්ඩවල  සිටින ප්‍රමාණයන් පිළිබඳව දත්ත රැස් කළා.” යි කීමෙන් අනතුරුව ” ජනාධිපතිතුමා, මට විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා . දෙමව්පියෝ අපෙන් අහනවා දරුවන්ට එන්නත දෙන්නෙ කවදද කියලා. පාසල් ආරම්භ කරනවා කියපු ගමන් දෙමව්පියෝ අහන්නේ දරුවන්ට එන්නත දෙන්නෙ කවද්ද කියන එකයි.
මේ සම්බන්ධයෙන් ඉක්මනින් පියවරක් ගන්න ඕන. “
” ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් අපේ පියවර අරන් තියෙන්නේ. දරුවන්ට ෆයිසර් එන්නත දෙන්න  සූදානම් කරමින් තියෙනවා. මුලින්ම පහළ වත් 18 ත් අතර දරුවන්ට එන්නත දෙනවා.මුලින්ම ආබාධිත සහ නිදන්ගත රෝග තියෙන දරුවන්ට ප්‍රමුඛතාවය දෙනවා.” ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ය.
” ඒක නම් ලොකු දෙයක් ජනාධිපතිතුමනි, දෙමව්පියො මේක බලාපොරොත්තුවෙන් ඉන්නේ” ප්‍රසන්න  රණතුංග ඇමතිවරයා නැවතත් පැවසීය.
ඒලියන්ත වයිට්
බෙහෙවින්ම කතාවට ලක් වූ මාතෘකාවක් බවට පත් වුයේ එලියන්ත්ගේ මරණයයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගිය දා මිය ගිය අගමැති මහින්ද රාජපක්ෂ පවුලේ රාජකීය වෛද්‍යවරයා සම්බන්ධ සිදුවීමෙන් මෙම කතිකාව අලුත් විය. ඔහුගේ මියයාම අගමැති මහින්ද රාජපක්ෂ බෙහෙවින්ම දුකට පත් කල කරුණක් බවට පත් කළේය
ඒ අතර දේශපාලකයන් ද, නළු නිළියන් ද, ක්‍රීඩකයන් ද ඇතුළු තවත් ජනප්‍රිය පුද්ගලයන් රැසක් ඔහුගෙන් ප්‍රතිකාර ගත් බව ද කියැවුනි. ඒ අතරින් ලසිත් මාලිංග පවසා තිබුනේ ” මගේ අබාධය ආශ්චර්යකින් වගේ හොද කලේ එලියන්ත් ” යනුවෙනි
කොවිඩ් වසංගතය සමඟ ඒලියන්තගේ භූමිකාව විශාල සමාජ බලපෑමක් කළේ ය. එනම්, ඔහු සතු කුණ්ඩලිනි ශක්තිය කොවිඩ් වෛරසය පරාජය කිරීමට යොදා ගත හැකි බවට පැතිර වූ මතයයි. මේ මඟින් කොවිඩ් රෝගීන් සුව කළ අන්දම හෙතෙම මාධ්‍ය හරහා රටට ම ප්‍රචාරය කළේ ය. හිටපු සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු වෙනත් ඇමතිවරුන් බොහෝ දෙනකු විසින් ගංගාවලට මොනවාදෝ මුට්ටි වගයක් දමනු ලැබුවේ ඔහුගේ උපදෙස් පරිදි ය. කෙසේ වෙතත්, අවසානයේ ඒලියන්ත වයිට් විශ්වාස කළ පිරිත් පැන් කළවලට, කුණ්ඩලිනි ශක්තියට හෝ විශ්ව ශක්තියට හෝ ඔහුව ගලවා ගන්නට නොහැකි වුණු බව පැහැදිලි ය.
අවසානයේදී එලියන්ත්ගේ මිය යාම සමඟ ධම්මික වෙදැදුරු හෙවත් පැණි ධම්මික අපූරු කතාවක් කියා තිබිණි ’ එතුමා විසින් රටට සහ ලෝකයට කළ සේවය අත්මහත්ය. බොහෝ දෙනාගේ ජීවිත වලට සුවපත් භාවය ලඟා කරදී ඇත. එය එතුමා අත්පත් කරගත් මහා පුන්‍යකර්මයයි. එතුමාගේ අහිමි වීම ශ්‍රීලංකාවට පමණක් නොව දෙස් විදෙස් රටවලටද මහත් පාඩුවකි.එතුමා විසින් ලෝකයක් සුවපත් කිරීමට ගත් උත්සහය  සියල්ලටම වඩා ඉහලින් ගෞරවයෙන් සනිටුහන්වනු ඇත.
එතුමාට අනන්‍ය වූ වෙද ශිල්පීය ක්‍රමයකින් එතුමා සේවය කළ අතර අපද අපට අනන්‍ය වූ වෙද ශිල්පීය ක්‍රමයකින් ජනතාව සුවපත් කිරීමට උත්සහ දැරුවෙමු. එලියන්ත මහතාගේ අභාවය මිනිස් සමාජයට විශාල හිස්තැනක් ඇතිකරවීය.  සුවපත් සමාජයක් බලාපොරොත්තුවෙන සියලු දෙනා වෙනුවෙන් ඒ අඩුව පිරවීමේ උතුම්වූ කාර්යභාරයේ වගකීම අපද නොපිරිහෙලා ඉටුකිරීමට සූදානම්ය.
ඒලියන්ත ව‍යිට් මහතාට නිවන් සුව අත්වේවා!
තෙරුවන් සරණයි!
කොහොමවුණත් අවසානයේදී වත්මන් ආණ්ඩුවේ බල ව්‍යාපෘති තුළ නාථ දෙවියන්, කාලි මෑණියන්, වශී බෝල, විශ්ව ශක්තීන්, කේන්දර, හක්ගෙඩි බලයන්, ආගම්වාදය හා ජාතිවාදය ආදී මෙකී නොකී සියල්ල කරළියේ කතා වෙන්නට පටන් ගත්තේය.
විද්‍යාවේ ආලෝකය කරා මෙවන් සමාජයක් ගෙන යාම හුදු මතවාදී සටනකින් පමණක් කළ හැක්කක් නොවේ එය පැහැදිලිවම දේශපාලන කටයුත්තක් බවද මතක් කළ යුතුව ඇත
පස්කුවේ විවිධ මත 
මීළඟට කරළියට එන්නේ පාස්කු මහ මොළකරු සොයා ගැනීමේ සටනය. කාදිනල්තුමා ඇතුළු පිරිස මැදිහත්වෙමින් කාදිනල්තුමාගේ ලිපියේ මෙසේ සටහන් විය ,
කාදිනල්තුමා ජනාධිපති වෙතට යැවූ ලිපියේ මාතෘකාව වූයේ පාස්කු ප්‍රහාරය සිදු කිරීම හා සම්බන්ධ කුමන්ත්‍රණය, ප්‍රහාරයට පෙර එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා සිදු කරන ලද නොමඟ යැවීම් සහ ඊට සෘජුව සම්බන්ධ පුද්ගලයන් කවුරුන් දැයි අනාවරණය කර ගැනීම සඳහා ඇති ප්‍රබල කරුණු සහ සාක්ෂි ලෙසටය. එනම්. මෙහි දී කුමන්ත්‍රණයක් ගැන පැහැදිලිව කතා කරයි. ප්‍රහාරයට පෙර පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම සඳහන් ය. නොමඟ යැවීම් ගැන කියයි. වැදගත් ම දේ ප්‍රබල සාක්ෂි හා කරුණු ගැන කීමයි.
ඒ ඔස්සේ පරීක්ෂණ මෙතෙක් සිදු වී නැති බව එයින් අවධාරණය කරයි. එනම්, එහි දෙවැනි කරුණෙන් කියන්නේ, මොහොමඩ් මොහිදීන් නොහොත් ආමි මොහිදීන් යන අය යුද හමුදා සාමාජිකයකුව සිට ඇති අතර, ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශය කිසිදු ආවේක්ෂණයක් හෝ විපරමක් සිදු කර නොතිබීම ද ප්‍රබල සැකයකට තුඩු දෙන කරුණක් ය යන්න ය. ආණ්ඩුව මෙයට මෙතෙක් නිවැරැදි පිළිතුරක් ලබා දී නොමැත. අඩු ම ගාණේ සරත් වීරසේකර හෝ මේ ගැන කිව යුතු ය. එය එසේ සිදු වී නොමැත. සැකය තව තවත් තහවුරු වන්නේ ඒ මත ය. එපමණක් නොව මොහු 2018 නොවැම්බර් 30 වැනි දින වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනකු  වෙඩි තබා ඝාතනය කොට ඔවුන් සතුව තිබූ අවි පැහැර ගැනීමට සෘජුව සම්බන්ධ වුණු අයකු බවට පසුව සිදු කරන ලද පරීක්ෂණවල දී තහවුරු වී තිබේ. තත්ත්වය වඩාත් භයානක වන්නේ එවිට ය.
ඥානසාර යළි කරළියට
මේ ඊයේ පෙරේදා හිටපු ගමන් ආයෙත් සැරයක් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ප්‍රහාරයක් ගැන කරුණු කියන්නට පටන් ගත්තේය. එහෙත්, ඉහත මතු කළ සිදුවීම් දෙක පිළිබඳව නිවැරැදිව පරීක්ෂණ සිදු කරන්නේ නම්, මහ මොළකරු පමණක් නොව ප්‍රහාරයේ අරමුණ කුමක් ද යන්න පවා සොයා ගත හැකි ය.  උන් වහන්සේ චෝදනා කරන අයට මෙම ප්‍රහාරයෙන් යම් දේශපාලන වාසියක් අත් වූයේ ද යන්න පමණක් සිතාබැලීය යුතුය.
 සැබැවින් ම මෙම සිදුවීමෙන් දේශපාලන වාසිය ලැබුණේ කාට ද යන්නෙන් සැබෑ කුමන්ත්‍රණකරුවා සොයා ගත හැකි ය; මහ මොළකරුවා සොයා ගත හැකි ය. දැන් මේ මහ මොළකරු සොයන්න එපා යැයි කියන්නේ එය සම්පූර්ණයෙන් ම යටගැසීමට ය. එදා සහරාන්ලා පාවිච්චි වුණා සේ ම අද අන් අයව පාවිච්චි වන්නේ ද එකී කුමන්ත්‍රණය යටගැසීමට ය. එහෙත්, එය කිසිසේත් ම කළ නොහැක්කකි. සත්‍යය කවදා හෝ හෙළදරව් වනු ඇත.
එජාපය වජිර සමඟ රනිල් 
එක්සත් ජාතික පක්ෂය කොට්ඨාශ මට්ටමින් දීප ව්‍යාප්තව පැවැත්වීමට සැලසුම් කර තිබෙන සමුළු 75 සාර්ථක කරගැනීමට අදාළ කටයුතු සම්බන්ධව දකුණු පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාකාරීන් සහ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැත්විණි.
ZOOM තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවේදී පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම්කර තිබෙන සමුළු සහ ඒවායේ අරමුණු මෙන්ම ඊට අදාළ ප්‍රදේශයේ පිරිස් සහභාගීකරවා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
සාකච්ඡාව පවත්වාගෙන ඉදිරියට යන අතරතුර මාතෘකාවෙන් පිට ප්‍රශ්නයක් විමසීමට අවස්ථාව තිබෙනවාදැයි ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙක් විමසා සිටියේය. ඔව්, ප්‍රශ්නයක් නැහැ. ඕනෑ දෙයක් අහන්න යැයි පිළිතුරු දුන් වජිර එම ප්‍රශ්නය ඉදිරිපත්කිරීමට අවස්ථාව ලබාදුන්නේය.
“ඇමතිතුමණි, මේ දිනවල ජීනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව එම සමුළුවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. යු.එන්.පී. ආණ්ඩුව තිබෙන විට මෙහෙම උනානම් විරුද්ධවාදීන් ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් මේ වනවිට රට ගිනි තබනවා. නමුත් වාසනාවකට අද එහෙම තත්ත්වයක් නැහැ. රටක් වශයෙන් අප නරක තැනකට තල්ලු වී තිබෙනවා. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට GSP+ අහිමි කිරීම වැනි සම්බාධක පැනවීමේ අවධානමක් මතුව තිබෙනවා නේද?“ යැයි සංවිධායකවරයා නැගුව පැනයට “ඔව්, එහෙම සම්බාධක පැනවීමක් සිදුවන්න පුලුවන්.“ යැයි පිළිතුරු දුන් වජිර ඒ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන්නට විය.
“මීට පෙර අවස්ථා කිහිපයකදී 2000 වනවිටත් ඉන් පසු 2013, 2014 යන කාලවකවානුවල පැවැති ආණ්ඩු ගෙනගිය ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩපිළිවෙල නිසා අපේ රට ලෝකයේ අනෙකුත් රටවල් අතර කොන්වී හුදෙකලා රටක් බවට පත්ව තිබුණා. අද මෙන් එදත් අපේ රටට ආධාර උපකාර ලැබුණේ නැහැ. GSP+ වැනි සහන අහිමි වුණා. ඒ සෑම අවස්ථාවකම රට ආරක්ෂාකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමයි.
ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් බලයට පත්වූ ආණ්ඩු විනිවිදභාවයකින් කටයුතු කළා. එතුමා සතු හැකියාව, දක්ෂතාවය මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා නිසා ලොව බොහෝ රටවල් එතුමට උදව් කළා. ඒ තුළින් මේ රටේ ආර්ථිකය ගොඩනගන්නත්, රට සංවර්ධනය කිරීමට පියවර ගැනීමටත්, ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරදීමටත් එතුමට හැකිවුණා.
නමුත් පටු අරමුණුවල එල්බගෙන සිටි විපක්ෂය ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් විදුළි පුටු ගැන කතා කරමින් ජනතාව මුලා කළා. මෙරට කිසිඳු දේශපාලන නායකයෙක් විදුලි පුටුවට ගෙනයන්න  රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉඩ තැබුවේ නැහැ. මානව වර්ගයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් එතුමා ක්‍රියාකළා. නමුත් අද වනවිට ඒ සියල්ල විනාශ වී රට විශාල අනතුරකට මුහුණ පා තිබෙනවා. මේ අනතුරෙන් රට යළි ගොඩගත හැක්කේද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි. එය කරන්නේ කොහොමද කියන එක ගැන සමුළු 75 දී කියන්නම්. “ යැයි ප්‍රකාශ කරමින් වජිර කතාව අවසන් කළේ වැටී තිබෙන මේ රට ගොඩගැනීම සඳහා එජාපය සතු වැඩපිළිවෙල සමුළු 75 තුළින් ගෙනඑන බලාපොරොත්තුව තබමිනි.
එක්සත් ජාතික පක්ෂය රටපුරා පැවැත්වීමට සැලසුම්කර තිබෙන සමුළු 75 සාර්ථකව සංවිධානය කරගැනීමේ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.  වජිර, රංගේ, සාගල, ශමල් ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ විය.
ඉලක්ක සහගත වැඩපිළිවෙලකට අනුව සමුළු පැවැත්වීම සහ ඒවාට පක්ෂයට අනුබද්ධිත සංවිධාන මෙන්ම අනෙකුත් පාර්ශවයන් එක් කරගැනීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාකර සැලසුම් කරගත්තේය.
මේ අකාරයට සමුළු 75 සාර්ථකව පැවැත්වීමට සැලසුම්කර ගත් වැඩපිළිවෙල සම්බන්ධව තවත් විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා සවස 3.30 ට නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
රුවන්, වජිර, රංගේ, සාගල, ශමල් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටි අතර සමුළු 75 පැවැත්වීමට කටයුතු සැලසුම්කර තිබෙන්නේ කෙසේදැයි නායක රනිල් සාකච්ඡාව ආරම්භ කරමින් ඔවුන්ගෙන් විමසා සිටියේය.
ඒ අනුව මෙම සමුළු ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සූදානම්කර තිබෙන ආකාරය සහ ඊට දායකවන පිරිස් මෙන්ම එහි කටයුතු පිළිබඳව වජිර, රංගේ, සාගල සහ ශමල් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට විය.
සැලසුම් කරගෙන තිබෙන මෙම වැඩපිළිවෙල සම්බන්ධව පැහැදීමක් ඇතිකරගත් රනිල් කඩිනමින් දිස්ත්‍රික්ක 25 ම සමුළු පවත්වන ලෙස එම නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
ලොහාන් රත්වත්තේ බන්ධනාගාරෙට කඩා වැඩිම
ලොහාන් රත්වත්තේ බන්ධනාගාරෙට කඩා වැඩිමත් බෙහෙවින්ම ප්‍රචාරයක් ඇතිවූ පුවතකි. රූපසුන්දරියක් උස්සන් ගියා යයි ද පැවසුවත් ලොහාන් ට ඇති හිතවත් කම නිසාම බොහෝ අය නිහඬ වෙද්දී ලොහාන් බන්ධනාගාර ඇමැතිකමින් ඉල්ලා අස්විය. එලෙස ඉල්ලා අස්වී තමන් වැරදි නැති බවට පවසන්නට විය. එය දුටු බොහෝ දෙනෙක් කිවුවේ ඉල්ලා කෑවා ලොහාන් යනුවෙනි. ලොහාන් ගේ කේස් එක නාමල් රාජපක්ෂ අතට ගෙන ඊට පිළිතුරු සොයමින් සිටිද්දී විපක්ෂය ලොහන්ගේ සියලු ඇමති ධූර නැති කල යුතු බවට පවසමින් ගම වටේ දුවති
 
මැණිකේ මගේ හිත ලෝකයම කෙලසයි 
දේශපාලනය එසේ සිදු වෙද්දී ශ්‍රී ලංකික නාමය ලෝකයටම මුල් වරට මෙතරම් දුරට යෝහනි ද සිල්වා නම් නව යොවුන් ගායිකාවට රැගෙන යාමට හැකි විය. බොලිවුඩයෙන් හොලිවුඩයට එතනින් ඉතාලියට යමින් ද ඉන්දියාවේ දේශපාලන පක්ෂ පවා තමන්ගේ මැතිවරණ කටයුතු උදෙසා මැණිකේ මගේ හිතේ භාවිත කර තිබිණි. සැබවින්ම එය ශ්‍රී ලාංකික අප ලද භාග්‍යකි.