මං ආරක්ෂා කළ පුරාවිද්‍යා ස්ථාන අද වනසනවා.– සජිත්…

0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි.
කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ (31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ නිධන් වස්තු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
• ඉමහත් වන්දනාවට පාත්‍ර වූ පුදබිමක් වන සිතුල්පව්ව කාවන්තිස්ස රජු දවස ඉදිකළ බව පැවසෙන අතර එය කලක් තිස්සේ නිදන් හොරුන්ගේ තර්ජනයට ලක් ව ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක පුදබිමකි. මෙලෙස නිධන් වස්තු මංකොල්ලකෑම් පිළිබඳව සිද්ධි කිහිපයක් පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය .
• මෙයින් පැහැදිලි වන්නේ නීතියේ පවත්නා ලිහිල් ස්වභාවය සහ අදාළ මංකොල්ලකරුවන් නීතිය පිළිබඳ තැකීමක් නොකරන බවය. ඓතිහාසික පුරා වස්තු සුරක්ෂිත කිරීම වෙනුවෙන් පවත්නා නීති වඩාත් දැඩි කළ යුතු අතර එවැනි මංකොල්ලකරුවන්ට එරහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක විය යුතු බව ද අප තරයේ විශ්වාස කරමු.
• මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට අප සංස්කෘතික අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදී 1940 පුරාවිද්‍යා පනතට සහ 2005 දඩ මුදල් පනතට සංශෝධන ලෙස පුරාවස්තු මංකොල්ලකෑම්වලට එරෙහිව පවත්නා නීතිරීති සහ දැඩි දඩුවම් පැමිණ වීමට යෝජනා කර කැබිනට් මණ්ඩල අනුමැතිය පවා ලබා ගත්තේය.
එය නීති කෙටුම්පත් අනුමැතියට ද යවන්නට කටයුතු කළ අතර ආණ්ඩු හුවමාරුව සිදුවිය. නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක වී නැත.
• ඒ පිළිබඳව විශ්ලේෂණයට වත්මන් ආණ්ඩුව කමිටුවක් පත්කොට ඇති නමුත් මේ දක්වා එම කමිටුව අවසන් නිර්දේශ ලබා දී නැත. ප්‍රමුඛත්වය ලබා දෙමින් කඩිනමින් කළ යුතු කටයුතු අතපසු කිරීමෙහි කිරීමෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ අගතියක් මිස යහපතක් නොවේ.
• එබැවින් වහාම පුරාවිද්‍යා මංකොල්ලකෑම් සම්බන්ධයෙන් වන නීති රීති දැඩි කොට රටේ ඓතිහාසික පුරාවිද්‍යාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව සිය කැපවීම ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුය. ඉහත සිදුව ඇති මංකොල්ල කෑම පිළිබඳව හා ම අපක්ෂපාතී නිර්ව්‍යාජ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා චූදිතයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය.