කොවිඩ්ම රණ අනුපාතයෙන් ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්

0
අගෝස්තු 05 වනදා සිට ගතවූ දින 14 තුළ පමණක් මෙරටින් කොරෝනා මරණ 1,969 ක් වාර්තා විය. එය සැලකීමේදී දෛනික කොරෝනා මරණ වාර්තා වීමේ සම්භාවිතාවද 140 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි.  ගතවූ සතියක කාලය සැසදීමේදී මෙරට දෛනික කොරෝනා මරණ සිදුවීමේ සම්භාවිතාව සියයට 146කින් ඉහල ගොස් ඇත. ඉකුත් අගෝස්තු 05වනදා සිට අගෝස්තු 11වනදා සතිය සැලකීමේදී එම සතිය තුළ වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 799 කි.
ඉකුත් 12වනදා සිට 18 වනදා දක්වා සතිය සැලකීමේදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,170කි. ඒ අනුව ගතවූ සතිය හා සැසදීමේදී ඊයේ දිනයේ අවසන් වූ සතිය තුළ මරණ වාර්තා වීම සියයට 146.4කින් වැඩි වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් අතරින් 97කට අධික පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බවය. ඉකුත් අගෝස්තු 05වනදා සිට 18 වනදා දක්වා දින 14තුළ ක්‍රමිකව දෛනික මරණ 98 සිට 186 ක් දක්වා වර්ධනය වී ඇති අයුරුද දැක ගත හැකිය.
එමෙන්ම සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ. මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන අනුපාතය සැලකීමේදී මේ වනවිට දකුණු ආසියානු කලාපයේ රටවල් 8 අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. ඒ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් මරණ අනුපාතය 9 ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.
එම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවන, තුන්වන, සිව්වන, පස්වන හා හයවන ස්ථානවල පසුවෙයි. මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා වී නොමැති බව සඳහන් වෙයි.
භූතානයේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම සිදුව ඇත්තේ මරණ 3ක් පමණි. මීට පෙර ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවුණත් පසුගිය දින 10ක පමණ කාලය තුළ දෛනික මරණවල සීඝ්‍ර වර්ධනයත් සමග ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇති බව පෙනී යයි.