අවුරුදු දොළහට වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත

0

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වමින් හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කළාය. අනතුරුව ඇය එහි වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමඟ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවාය.

හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6000කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ.

කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක වී ඇත්තේ කාන්තා වාට්ටු සංකීර්ණයේය.

නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරු පවසති.

කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.