කොවිඩ් පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිතයි

0

මෙරට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කොවිඩ් වසංගතය පැතිර ගිය බවට නැවතත් විපක්ෂයට සම්බන්ධ පිරිස් හා ඇතැම් පාර්ශව චෝදනා කරනු දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ මෙරටට යුක්රේනයෙන් සංචාරකයන් ගෙන ඒම හරහා කොව්ඩ් වසංගතය පැතිර ගිය බවයි. තවත් පිරිසකගේ චෝදනාව වී ඇත්තේ ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය රට තුළ පැතිර යාමට ද සංචාරකයන්ට රට විවෘත කිරීම හේතු වූ බවය. ඇතැමුන් සිය රාජපක්ෂ විරෝධය නිසාම යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම ද ඈදා ගනු දක්නට ලැබේ. මේ නිසා විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහි නිවැරිදි තත්ත්වය රටට පැහැදිලි කිරීම මගේ වගකීමක් ලෙස සලකමි.

 ‘සංචාරක බුබුළ සංකල්පය‘ රජයේ හෝ සංචාරක අමාත්‍යංශයේ හිතුවක්කාර ක්‍රියාවලියක් නොවේ. එය දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බළධාරීන් සමග ද සාකච්ඡා කර සෞඛ්‍ය බළධාරීන් විසින් විටින් විට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරයේ  නිරත ව සිටි ලක්ෂ 30 ක් පමණ වන මෙරට ජනතාවට සහන සැලසීම සදහා රජය  ගනු ලැබු පියවරකි.

 සංචාරකයන්ට රට නිළ වශයෙන් වීවෘත කිරීමට තීරණය කිරීමෙන් පසු ඒ සදහා නියාමන ව්‍යාපෘතියක් හදුන්වා දුන් අතර එය ආරම්භ කළේ 2020 දෙසැම්බර් 23 වන දිනය. ඒ අනුව මෙම නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ කාලය තුළ සංචාරකයන්  සංචාරක ජෛව බුබුළක් යටතේ මෙරටට ගෙන්වීමට දෙස් විදෙස් සංචාරක සංවීධාන නියෝජිත ආයතනවලට අවස්ථාව හිමි විය. නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේනය, කසකස්ථානය ඇතුළු රටවලින් 2258 ක් මෙරටට පැමිණි අතර ඉන් අසාදිතයන් වාර්තා වූණේ 09 දෙනෙකු පමණි.  ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා නිළ වශයෙන් වීවෘත කෙරුණේ 2021 ජනවාරි 21 වන දිනය නියාමන ව්‍යාපෘතිය ආරම්භ වු 2020-12-28 වන දින සිට 2021-08-12 වන දින දක්වා මෙරටට සංචාරකයන් 21,915 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 220 දෙනෙකි. එයින් 150 දෙනෙකු මේ වන විට සුව වී සිය රට බලා ගොස් ඇති අතර සෙසු පිරිස සෞඛ්‍ය අංශ වල දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

 මෙතෙක් කොවිඩ් අසාදීත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 220 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවිණි. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියවලිය ජෛව විද්‍යාත්මක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් සමාජයට නිරාවරණය වුයේ නැත. දෙවන කොවිඩ් රැල්ල පැතිර යන කාලය තුළ රට සංචාරකයන්ට වීවෘත කර නොතිබු අතර රට සංචාරකයන්ට විවෘත වුයේත් නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුයේත් කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව බව සෞඛ්‍ය වාර්තා තහවුරු කරයි. ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය හා දකුණු අප්‍රිකානු ප්‍ර භේදය ද මෙරට මුලින් ම වාර්තා වී ඇත්තේ ද එම රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදොනකුගෙන් බව ද සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණි.

  සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය කටයුතු කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. සංචාරකයන් ගෙන්විම සදහා කටයුකු කරන සියලුම සංචාරක නියෝජිත ආයතනවලට ඊට අදාළව උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන ආයතනවලට එරෙහි ව දැඩි පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත මා විසින්  උපදෙස් දී තිබේ.

 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බරපතළම කඩා වැටීමකට ලක් වු ව්‍යාපාරය වන්නේ ද සංචාරක ව්‍යාපාරයයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරයට යළි විවෘත කර ඇති අතර මෙරට ජාතික ආර්ථිකයට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ක්ෂේත්‍රයක් වන සංචාරක ව්‍යාපාරය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල් තැන දෙමින් ශ්‍රී ලංකාව ද ආරම්භ කළේ එම කර්මාන්තයේ නිරත ජනතාවට යම් අස්වැසිල්ලක් ලබාදීම සදහායි. සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කිරීම පමණක් සිය දේශපාලනය කරගත් විපක්ෂය හා ඔවුන්ට කත් අදින විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් මේ වන විට සංචාරකයන්ට රට විවෘත වීම නිසා කොවිඩ් පැතිරෙන බවට කරන ප්‍රකාශ කිසිදු පදනමක් නැති ද්වේශ සහගත දේශපාලන සම්ප්‍රප්පලාපයන් පමණි. මේ සදහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම ඈදා ගැනීම මගින් ද එය තහවුරු වෙයි.

සංචාරක කර්මාන්තය යලි නගාසිටුවීම සදහා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් හා මග පෙන්වීම මත බැවින් මෙවැනි පටු දේශපාලන බේගල් වලට නොරැවටෙන්න යැයි සමස්ථ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.