පිළියන්දල ප්‍රහාරයේ මහ මොලකරු හසුවේ

0
By: අශන්ති වරුනසුරිය
මීට සිවු වසරකට ඉහතදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායම මත්ද්‍රව්‍ය ඔත්තුවක් මුවාවෙන් උපක්‍රමශීලීව පිළියන්දල ප්‍රදේශයට රැගෙන ගොස් නිලධාරීන් සියලුදෙනාම ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ මහ මොළකරු වූ මොහොමඩ් නවාස් ඔහුගේ අනුගාමියකු සහ හෙරොයින් කිලෝ 100ක් සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය ඉකුත් නොවැම්බර් මාසයේ සිට සිදුකළ රහසිගත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම ඉකුත් 22 වැනිදා චෙන්නායිහිදී සිදුව ඇත.
මෙරට මුදලින් රුපියල් කෝටි 100ක හෙරොයින් තොගයක් නවාස් හා ඔහුගේ අනුගාමිකයා වන මොහොමඩ් අෆ්නාස් සන්තකයේ තිබී ඇතැයිද සඳහන් වේ.
මොහොමඩ් නවාස් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වූ අතර ඔහුගේ උපදෙස් පරිදි 2017 මැයි 09 වැනි දින පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිස ඝාතනය කිරීම සඳහා නවාස් පොලිස් ඔත්තුකරු ලෙස රඟපාමින් කටයුතු කොට මෙම ප්‍රහාරය සැලසුම් කොට තිබුණා.
මෙයින් නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් තුවාල ලැබූ අතර වෙඩි තැබීම සිදුවූ ආහාර අලෙවිසලෙහි කුඩා දරුවන් තිදෙනකුද මින් තුවාල ලබා එක් දැරිවියක් ජීවිතක්ෂයට පත්වූ අතර මෙහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද ජීවිතක්ෂයට පත් විය.