ඇමති පවිත්‍රාගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක්. වැඩි වන කොරෝනා අවදානම

0
By: මේඝා චින්තාමණි 
කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. ඇමැතිවරිය පසුගිය දින පහක කාලයේ විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී තිබේ.
තමන්​ගේ සමීපතම ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස ඇමැතිවරිය ඉල්ලීමක් කර ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඇමැතිවරියගේ සැමියා වන කාංචන ජයරත්න සහ දියණියක්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට සහ පී.සී.ආර්.පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔවුන්ට වෛරසය අසාදනය වී නැත.
ඇමැතිවරියගේ රියැදුරන්ට සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට ආසාදනය වී නැති බව තහවුරු වී ඇත. කෙසේවෙතත් මේ වන විට දියණිය සහ කාර්ය මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටියි. ඒ නිසා ඇමැතිවරියගේ කාර්යාලය වසා මාධ්‍ය අංශය, හෙද අංශය, විභාග අංශ වසා දමා ඇත. අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීම්වලට සහභාගි වී තිබිණි.
සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණ ඇති අතර පාර්ලිමේන්තුවේ සවි කර ඇති සී.සී.ටී.වී. කැමරා ඔස්සේ ලබා ගත් දර්ශන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පරීක්ෂා කර ඇත. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ ‘පැණියද’ මීට මාස දෙකකට පමණ පෙර ප්‍රසිද්ධියේ පානය කළාය.
ඇමැතිවරියට කොවිඩ් වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණය වී නැත. අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කොවිඩ් ආසාදිත වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ වන විට කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවයි.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ රට තුළ ආසාදිත පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ආසාදිතයින් ලෙස හඳුනා ගත්තද කෝවිඩ් තත්ත්වය පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරනය කරයි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවය.
නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ රට පුරා සංචාරය කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රථිපලයක් ලෙස බස්නාහිර පළාතෙන් ඔබ්බට කොරෝනා වෛරස් තත්වය ව්‍යාප්ත වීමට හේතුව බවද ඔහු පවසයි. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් බලධාරීන් දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවමත් ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වන්නේ කොලඹිණි. ඊයේ දිනයේදී වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් 843 දෙනාගෙන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඊයේ දිනයේදී ද දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවන දිනටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,523කි.
සියල්ල සැලකිල්ලට ගෙන සංකූලතා නොපෙන්වන කොරෝනා ආසාදිතයින් සඳහා, පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම්වලට අවසර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, කොරෝනා මර්දන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.