ශ්‍රී ලාංකිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා…

0

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් විසින් කටාර් රාජ්‍යයේ සිදුකළ සංචාරයකදී කළ ආරාධනයකට අනුව මෙහි පැමිණි කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම් මොහොමඩ් හසන් ඔබයිඩ්ලි (HE.Mohammed Hassan Al-Obaidli –  Undersecretary of Labour Affairsමහතා ප්‍රමුඛ කටාර් රාජ්‍යයේ දූත පිරිස හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ අතර මෙම හමුව පැවැත්වුණි. එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කටාර් රාජ්‍ය නියෝජනය කරමින් මේජර් ජෙනරාල් මොහොමඩ් අහමඩ් අල් දෝසරි (Major General Mohammed Ahmed Al-Dossari – Director General of the General Directorate of Passport at the Ministry of Interiorමහතා ඇතුළු පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.සේනානායක, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙනිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) හේමන්ත විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.