ගම්පහ කොරෝනා වැඩි වෙන්නේ ඇයි ? නගරාධිපති කතා කරයි

0
By: මේඝා චින්තාමණි 
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ 976ක් ලෙසින් සටහන් විය. ගම්පහ නගරයේද වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පැවසීය. කොරෝනා අවදානම ගැන අප ගම්පහ නාරගධිපතිවරයා The Sunday Reader සමඟ සිදු කල කෙටි සංවාද සටහනකි මේ.
ගම්පහ නගරයේ තත්වය ගැන කිවුවොත් ?
ඊයේ වන තෙක් ලැබී ඇති දත්ත අනුව නගර සිමාවේ ආසාදිතයින් 233 සිටින බවත් එළවළු වෙළෙඳපොළ පලතුරු වෙළෙඳපොළ ආශ්‍රිත සේවකයින්ට කොවිඩ් ආසාදනය වෙලා. පසුගිය දින 4 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදු කළා. එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තියෙනවා. මුළු නගරයේම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් කරන්න තැන් 5ක් සුදානම් කරලා තියෙන්නේ.
 
ඇයි වැඩිවන කොරෝනා තත්වය පාලනය කර ගත නොහැකි  ?
කොරෝනා ලංකාවට ආපු දවසේ ඉදලා අපිට සෞක්‍ය අංශ ලබාදුන් මාර්ගෝපදේශන වලට අනුකුලව අදාල කටයුතු දියත් කළා. එදා ඉදලා මේ වන තුරු අපි දිගටම අදාල අන්ටිජන් පරීක්ෂණ සිදු කළා. ඉදිරියේදීත් සිදු කරනවා. විසබීජ හරණයන් සිදු කරනවා. මේවාට විශාල මුදලක් වැය වනවා. අපි මොනවා කළත් වැඩක් නැහැ, මිනිස්සු පරිස්සම් වෙන්නේ නැතුව. අපි ඉල්ලන්නේ, ගම්පහ නගරයට ඇතුල්වන විට අදාළ සෞක්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.
ඒ කියන්නේ ගම්පහ ජනතාව පරිස්සම් මදි ?
දැන් අපේ වෙළෙඳ සංකීර්ණය ගැන කතා කරනකොට අපේ කොවිඩ් මර්ධන බලකායක් ඉන්නවා. එයාලගේ විමර්ෂණ වලට අහු වුණේ , මෙතැන බොහෝ වෙළෙන්දන් මාස්ක් පැළඳ නැහැ. ඔවුනුත් වගකීම් විරහිතව වැඩ කරලා. ඒවගේම සෙසු පිරිසුත් මාස්ක් එකක් නැති කෙනෙක් ළඟට නොයා ඉන්න, ඔවුන් එක්ක ගනුදෙනු නොකිරීමට ජනතාව වගබලා ගන්න ඕන. මේක ඉතින් ගම්පහ විතරක් නෙමෙයි රටේම සමස්ත ජනතාවගේ වගකීමක්.
 
ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් ද ?
විසබීජ හරණය ගත්තොත් 2020 මාර්තු සිට මේ දක්වා ලක්ෂ 30කට අසන්න මුදලක් වැය වී තිබෙනවා. මේක විශාල මුදලක්. පළාත් පාලන ආයතනයක් විදියට දිගටම මේ සා මුදල් වියදම් කරීමේ ගැටළුවක් අපිට තියෙනවා.
ඒ කියන්නේ කොරෝනා වැඩි වුණොත් නිකන් බලන් ඉන්නවද ? 
නැහැ කීයටවත් එහෙම කරන්නේ නැහැ. මම කියන්නේ අපහසුතා මැද වුනත් අපි උපරිමය කරනවා එත් මිනිස්සු ඔවුන්ගේ යුතුකම වගකීම හරියට කරනවද කියන එකයි ප්‍රශ්ණේ. රජයේ වගේම මගේ පදනම හරහාත් එක දිගට අපි සමාජ සුභ සාධන රාශියක් දියත් කළා. ඇත්තම කියනවා නම් දැන් අපේ පදනම් වලටත් මුදල් නැහැ. ඉතින් මිනිස්සු වගකීම් විරහිතව වැඩ කරලා මෙම උවදුර වැඩි වෙනකොට එකලෙසට මේ කටයුතු තව දුරටත් සිදු කිරීමේදී මුල්‍යමය ගැටළු මතු වෙන එක සාධාරණයි. අනික අපේ මිනිස්සු වරිපනම් ගෙවන්නෙත් නැහැ.
නිරෝධායන සෙන්ටර්ස් වලට ඉඩ නැති ප්‍රශ්ණයක් වාර්තා වෙනවා ?
මමත් හිතන්නේ රෝගා නිර්ණයන් මත නිවෙස් වල නිරෝධායන වීමේ සුදුසුකම් තියෙනවා නම් නිවෙස් වලම නිරෝධායනය වීමට ඉඩ සැලැස්වීම යෝග්‍යයි. නැත්නම් ගෙනියන්න තැන නැතුව ඉඩ ප්‍රශ්නයක් එනවා.
නිරෝධායන වන පවුල් වලට ලබා දෙන බඩු ලබා දීමේදී අක්‍රමිකතා සිදුවෙන බවට චෝදනාවක් තියෙනවා ?
මට වගකීමෙන් කියන්න පුළුවන් එහෙම දෙයක් අපේ නම් වෙන්නේ නැහැ. එරංග සේනාරත්න පදනමෙනුත් පුද්ගලිකව ජනතාවට බඩු ලබා දුන්නා.
 
මොනාකලත් එරංගට මැතිවරණයට ටිකට් එක දුන්නෙත් නැහැ. ඔබව පක්ෂෙන් කපනවා නේද ?
මම හිතන්නේ තාම මම සුදුසු නැතුව ඇති. ඒ නිසා දුන්නේ නැතුව ඇති. පළාත් සභා ජන්දෙට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. තව උත්සහ කරනවා.
පාසල් ආරම්භ කිරීමට නියමිතයි. පාසල් දරුවන් ගේ ආරක්ෂණය වෙනුවෙන් වැඩපිළිවෙල මොකද්ද ?
විශේෂයෙන් දෙමාපියන්ට කියන්න අවශ්‍යයි දරුවන්ට අදාළ දැනුවත් කිරීම් ලබා දීලා එවන්න කියලා. දෙමව්පියන් වගකීම ගන්න ඕන.
කොවිඩ් එක්ක නගර සංවර්ධනය කටයුතු අඩාල වෙලාද ?
කිසිසේත්ම නැහැ. පසුගියවසරේදී සංවර්ධන කටයුතු ඒ ලෙසටම අපි සිදු කළා. මෙවසරේදී පාරවල් 20කට වැඩි ප්‍රමාණයක් කාපට් කිරීම මෙන්ම දැනට තිබෙන වෙළෙඳ සංකීර්ණය නවීකරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි කටයුතු මාර්තු වන විට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් කියලා පස්සට යන්නේ නෙහෙ ඉලක්ක ගත සංවර්ධන සැලසුම් වලට යනවා.