පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි.

0

පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

මෙහිදී ගරු කථානායකවරයා ප්‍රථමයෙන් පොලිපතිවරයාට සිය සුභාශිංශන එක් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික තීරණයෙන්, හා පුර්ණ විනිවිදභාවයකින් යුක්තව මෙම පත්කිරීම සිදුවූ බව මෙහිදී කථානායකවරයා පැවසුවෙය.

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බවත් එය වඩාත් හොදින් සිය ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට, යහපත් පරිසරයක් නිර්මාණය කරන බවත් පැවසුවේය.

තවද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේවනවිට ගෙනඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ජා විය. එසේම රටේ රිය අනතුරු අවම කරගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂයන් සාකච්ජා කෙරිණි

එහිදී වඩාත් විනය ගරුකව රිය ධාවන කරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීම උදෙසා වැඩසටහනක් සංවිධානය කරන ලෙස ගරු කථානායකවරයා පෙර සිදු කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට සුදානම් බවද මෙහිදී පොලිස්පතිවරයා පැවසුවේය. ඒ අනුව රියදුරන් ගමන් ආරම්භ කරන ස්ථානයේ සිට අවසන් කරන ස්ථානය තෙක් ඔහුගේ රිය ධාවන පිළිබඳ නිරන්තර තොරතුරු රැස්කරමින් අවසානයේ විනයගරුක රියදුරන්ට එම ස්ථානයේදීම ඔහුව ඇගයීම මෙම වැඩසටහනෙන් සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

මෙලෙස රියදුරන් දිරිමත් කිරීම ඔස්සේ වඩාත් විනය ගරුක රියදුරන් පිරිසක් නිර්මාණය වන බවත් ඒ ඔස්සේ රිය අනතුරු අවම කරමින් මිනිස් ජිවිත රැකගැනීමට අවස්ථාව උදාවන බවත් එබැවින් එම වැඩටහන හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමේ වටිනාකම කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.