නවීනතම තාක්ෂණයෙන්හා පහසුකම් රැසකින්සමන්විත නව SLT-MOBITEL මූලස්ථානය වැලිකඩදී විවෘත වේ

0

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ.

ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසිදු කිරීමේ පහසුකම්, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත වීදුරු, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත විදුලි උපාංග, විදුලි සෝපාන සහ වායුසමීකරණ වැනි පහසුකම් රැසකින් සමන්විත වේ. මහල් 9 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙහි පළමු අදියර යටතේ මහල් 5 ක කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, ඉතිරි මහල් 4 හි ඉදිකිරීම් දෙවැනි අදියර යටතේ සම්පූර්ණ වනු ඇත. පරිසරයේ සමබරතාව ආරක්ෂා කිරීම සඳහා, මෙම කාර්යාල සංකීර්ණය පිහිටි අක්කර 7 ක භූමියෙන් ඉදිකිරීම් සඳහා භාවිතා කර ඇත්තේ 3% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණි. බ්‍රවුන්ෆීල්ඩ් (Brownfield) වර්ගයේ ව්‍යාපෘතියක් වන මෙය සඳහා, එම භූමියෙහි කලින් පැවති ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන ලද අමුද්‍රව්‍ය හැකිතාක් දුරකට භාවිතා කර ඇත. එමෙන්ම හරිත ක්‍රමවේදයන්ට අනුකූලව, අපතේ යාම් හැකිතාක් අවම වන පරිදි ව්‍යාපෘතියෙහි කටයුතු සිදුකරන ලදි. තවද අභ්‍යන්තර පවිත්‍රාගාරයක්ද මීට ඇතුළත් වන අතර, එමගින් පිරිසිදු කර නිකුත් කරන ජලය ගොඩනැගිල්ලේ සිරස් ගෙවතු වගාවන් සඳහා සහ උද්‍යානය සඳහා භාවිතා කෙරේ. මීට අමතරව, ගොඩනැගිල්ලේ වහලය මත වර්ග අඩි 15,000 ක සූර්ය බලශක්ති ජනන පද්ධතියක්ද සවිකර ඇත.

මෙම මූලස්ථාන ගොඩනැගිල්ල තුළ ලොව නවීනතම ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියක් යොදා ඇති අතර එමගින් වායුසමීකරණයන්, ජලය, විදුලි ආලෝකය සහ වෙනත් පහසුකම් භාවිතා වන ආකාරය නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම්දීම් ලබාදීම සිදුකෙරේ. 

පරිසරයේ ස්වාභාවිකත්වය ආරක්ෂා වන ආකාරයට සහ භාවිතා කරන්නන්ට උපරිම පහසුවක් අත්වන පරිදි, නවීන කාර්යාල පරිසර සංකල්පයන්ට අනුකූලව මෙහි අභ්‍යන්තරය සලසුම් කර ඇත. එහිදී පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබේ . උදාහරණයක් ලෙස, මෙම භූමියෙහි ඇති දශක ගණනාවක් පැරණි මාර ගසද ගොඩනැගිල්ලෙහිම කොටසක් බවට පත්වන පරිදි සැලසුම් කර ඇති අතර, එය ගොඩනැගිල්ලේ අලංකාරය තවදුරටත් වැඩි කරන සාධකයක් වී ඇත. 

මෙම ව්‍යාපෘතියෙහි මුල් අදියර සඳහා වැය වී ඇති මුළු මුදල ආසන්න වශයෙන් රු. මිලියන 2,500 කි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලයේදී පැවති COVID-19 රෝග ව්‍යාප්තිය, රජය මගින් පනවන ලද සංචරණ සීමාවන් සහ අර්බුදකාරී දේශපාලන තත්ත්වය වැනි බාධක සැලකිල්ලට ගැනීමේදී මෙය මෙතරම් සාර්ථක ලෙස සිදුකිරීමට හැකි වීම විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. ඉහත සඳහන් බාධක හමුවේ වුවද නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘතියේ ඉලක්ක ළඟා කරගැනීමට SLT-MOBITEL කණ්ඩායමට හැකි විය. 

මෙම නව ගොඩනැගිල්ල නිසා SLT-MOBITEL සමාගමට සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් වසරකට රු. මිලයන 25.4 ක ඉතිරියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර වාහන ගාල් කිරීම, ආරක්ෂක සේවාවන් ඇතුළු සේවාවන්, විදුලිය හා ජලය පරිභෝජනය සහ කාර්යාල අතර ගමනගාමනය ආදිය සඳහා වැයවුණු වියදම් මෙමගින් ඉතුරු වනු ඇත. එමෙන්ම Rotunda සහ Propertex ගොඩනැගිලි සඳහා වසරකට වැය වූ රු. මිලියන 250 ක පමණ මුදලද මෙමගින් ඉතිරි වන අතර, එය සමස්ත SLT සමූහයටම වාසිදායක වේ.

වර්ග අඩි 60,000 ක පමණ ඉඩකඩකින් යුත් ඉතිරි මහල් හතරෙහි ඉදිකිරීම්ද අවසන් වූ පසුව, SLT-MOBITEL මෙහෙයුම් සියල්ල එකම වහලක් යට ස්ථානගත කිරීමට SLT-MOBITEL සමූහයට හැකියාව ලැබෙනු ඇත. මෙමගින් කොළඹ සහ කොම්පඤ්ඤවීදිය වැනි ප්‍රදේශවල ගොඩනැගිලි කිහිපයක පිහිටුවා ඇති SLT-Mobitel කාර්යාල, නව මූලස්ථානය වෙත රැගෙන විත්, එම ගොඩනැගිලි මූල්‍යමය වශයෙන් වාසිදායක වෙනත් කටයුතු සඳහා යෙදවීමට හැකි වේ. 

සමස්තයක් වශයෙන් ගත් විට, තිරසාරත්වය, පරිසර හිතකාමී බව සහ සම්පත් අවම මට්ටමින් භාවිතා කිරීම වැනි සාධක ඔස්සේ, මෙම නව මූලස්ථානය SLT-MOBITEL හි පාරිසරික දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට මහෝපකාරී වනු ඇත. එමෙන්ම එය ආයතනය තුළ වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රසන්න රැකියා පරසරයක් ඇතිකරමින්, සමාගම තවදුරටත් දියුණුවෙන් දියුණුව කරා රැගෙන යාම සඳහා එහි කාර්ය මණ්ඩලය දිරිමත් කරනු නිසැක ය.