අපි කලබල වුනේ මිනිස්සු ජීවත් කරවන්න – සිස්ටම් එක චේන්ජ් කරන්න

0

අමාත්‍ය මනුෂ නානායක්කාර

මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට අපිට කලබලයක් තිබූ බවත්, ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිවීම නිසා තවත් පිරිසක් කලබල වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කලබලේ ඇයි දැන් රට පුරාත්, ලෝකය පුරාත් ගොස් කෑ ගසන්නේ රට එදා තිබුණ තත්වයෙන් අද තිබෙන තත්වයට ගොඩ නැගීම නිසා කලබල වී සිටින පිරිස් බවත් 19 උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ගිය අවුරුද්දේ මැයි මාසය වන විට රට තිබුණ තැන අපිට මතයිනේ. තෙල් නැති, ගෑස් නැති, පෝලිම්වල ගහගනිපු, සංචිත බිංදුවට වැටුන රටක ජීවත් වුන අපිට ඒ තැන ඉදලා රට අද තිබෙන තැනට අරගෙන එන්න අපිට කලබලයක් තිබුණා. මිනිස්සු ජීවත් කරවන්න අපිට කලබලයක් තිබුණා. මිනිස්සු පෝලිම්වල මිනිස්සු මැරෙන්නේ නැති තැනට අරගෙන එන්න අපිට කලබලයක් තිබුණා. වහලා දාලා තිබුණ පාසල් ටික විවෘත කරන්න අපිට කලබලයක් තිබුණා. නැවත අධ්‍යාපනය පටන් ගන්න අපිට කලබලයක් තිබුණා. වහලා තිබුණ විශ්ව විද්‍යාල යළිත් විවෘත කරන්න අපිට කලබලයක් තිබුණා. වහලා තිබුන සංචාරක හෝටල් යළි විවෘත කරන්න අපිට කලබලයක් තිබුණා. නීතිය හා සාමය ස්ථාපිත වූ රටක් නිර්මාණය කරන්න අපිට කලබලයක් තිබුණා.

දැන් මේ ගොඩක් අයට කලබලයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි?

විදේශ සංචිත ඩොලර් මිලියන 50ට විතර පහළ වැටිලා තිබුණේ. අපිට තිබුණේ රත්තරං ටික විතරයි. අද වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2.3 දක්වා ඉහළ නංවාගැනීමට හැකියාව ලැබුණා. විදේශ ගත ශ්‍රමිකයා වගේම අපනයන කර්මාන්තකරුවා මෙසේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට උදව් කළා. රට රටවලට ගිහින් සල්ලි එවන්න එපා කියලා විදේශ ගත ශ්‍රමිකයින්ට කියද්දීත් විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය මාසයේදී විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 580ක් මේ රටට එව්වා. මේ මාස ගණනාව පුරා බිලියන ගණනක මුදලක් රටට එව්වා. අපේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න පුලුවන් වුනා. අපේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න පුලුවන් වුනා. අපේ රටේ දරුවන්ට නැවත පාසල් යන්න පුලුවන්කම ලැබුණා. අවුරුදු තුනකට පස්සේ අවුරුදු කන්න පුලුවන්කම ලැබුණා. මිනිස්සු ගම් බිම්වලට ගියා. සංචාරකයෝ ලංකාවට ආවා. අවුරුදු උත්සව නැවත පටන් ගත්තා. ලංකා බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රවලින් විතරක් රුපියල් බිලියන 45ක් අවුරුදු සුමානයේදී විතරක් අරගෙන තිබුණා.

මේවා වන විට සමහරු බය වෙලා. ඒ නිසා තමයි කලබල වෙලා තියෙන්නේ.  අවුරුද්දට ඇති තරම් තෙල් ලැබුණා. ජනවාරි දෙවැනිදා ඩීසල් රුපියල් 15කින්, භුමිතෙල් රුපියල් 10කින් අඩු කළා. මාර්තු 29 වැනිදා පෙට්‍රල් රුපියල් 60කින්, ඩීසල් රුපියල් 80කින්, භූමිතෙල් රුපියල් 10කින් යළිත් පහළ දැමුවා. ලෝක වෙළදපොලේ තෙල් මිලත් එක්ක සමපාත වෙන්න තෙල් මිල අඩු කළා. ගෑස් මිල රුපියල් 1000කින් අඩු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය අපිට ලැබුණා. බංකොලොත් රටක් කියන තැනින් අපි මුදා ගැනීමට හැකියාව ලැබුණා. අයෝජකයෝ දැන් රටට එන්න පටන් අරගෙන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සමාජය ලංකාවට උදව් කරන හැටි ගැන සාකච්ඡා කරනවා. අපේ කණ්ඩායම් ලෝක බැංකු කණ්ඩායම සමග සාකච්ඡා කරලා විශාල සහන රාශියක් ලබාගැනීමට කටයුතු කරනවා. ජපානය අපේ රට ඇතුළේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබෙනවා.

කාබනික වගාවට ගිහින් ගොවීන් අමාරුවේ වැටිලා හිටියේ. පොහොර නැතිව හිටියේ. දැන් ගොවීන්ට පොහොර ලැබෙනවා. පොහොර ගන්න සල්ලි දෙනවා. පොහොර සහනාධාරය දෙනවා. ඒ විතරක් නෙමෙයි, පසුගිය මාස කිහිපය පුරා කරගෙන ගිය වැඩපිළිවෙලත් එක්ක සහල් අතිරික්තයක් රටේ ඇතිව තිබෙනවා. අද ගොවියට නියමිත මිල ලැබෙනවා. ජනතාවටත් අවශ්‍ය සහනය ලැබෙනවා. දුප්පත් ජනතාව සහල් කිලෝ 20 බැගින් ලැබෙනවා. සහනාධාර ලැබිය යුතු පුද්ගලයින් තෝරාගෙන සහන ලබාදෙනවා. අඩු ආදායම්ලාභීන් හදුනාගෙන බැංකු ගිණුම්වලට මුදල් ලබාදෙනවා

දරුවන්ට කිරිපිටි ටික ලැබෙනවා. කිරිපිටිමිලත් වේගයෙන් පහළ වැටෙනවා. දරුවන්ට පාසල් පෙළ පොත් ලැබෙනවා. පාසල් නිල ඇදුම් ලැබෙනවා. මේවා වන විට කලබල වෙනවා. මෙච්චර කල් ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක අපි දැන් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පක්ෂ දේශපාලනය පැත්කට තියලා රට වෙනස් කරනවා. බදු ගන්න ඕන අයගෙන් බදු ගන්නවා. ලක්ෂයකට වඩා වැඩියෙන් ආදායම් ලබන අයගෙන් විතරයි බදු අය කරන්නේ. මේ රටේ අතලොස්සකගෙන් විතරයි බදු අය කරන්නේ. එහෙම තිබියදී වරායේ වැඩ නතර කරලා අපි බිලියන ගානක් රටට පාඩු කළා කියලා කියනවා. රට කඩාකප්පල් කරනවා. පාරට බැහැපු අයගේ පඩි කැපනෙවාද? උපයන විට බදු ගැපෙනවාද? රට සාමාන්‍යකරණයට ලක් වන විට සටන් පාඨ නැති වෙනවා. මේ සියලු දේවල් යථා තත්වයට පත් වන විට පාරට බැහැලා කෑ ගහන්න බැරි තත්වයක් ඇතිවෙලා තිබෙනවා.

පාසල් විවෘත කරලා අධ්‍යාපනය යථා තත්වයට පත් වන විට උත්තර පත්‍ර ඇගයීම් නතර කරලා රට තුළ නොසන්සුන්තාවයක් නිර්මාණය කරන්න හදනවා. විශ්ව විද්‍යාල ඇතුලේ අර්බුද හදනවා. දරුවන් තුළ, තරුණයින් තුළ අසහනයක් ඇති කරලා 88-89 කාලයේවගේම තරුණයින් එළියට ගන්න පුලුවන්ද බලනවා. හැම වෙලාවේම වෛරය, ක්‍රෝදය වපුරන කඩප්පුලි වැඩේ කරන්න හදනවා. නැවත අර්බුදයක් හැදීමේ කලබලය තමයි මේ ඇතිවෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න කියන පොස්ටරේ ගහගෙන ආපු අය දැන් රට රටවල ගිහින් කතා කරනවා. ඒ අය තමයි දැන් කලබලයට පත් වෙලා තියෙන්නේ. වාමාංශික ව්‍යාපාරය කඩාගෙන වැටීම නිසා කඩප්පුලි වැඩ කරන තැනකට යන්න හදනවා. රාජපක්ෂලාට පෝස්ටර් ගහලා, ඒ අය ගෙනාපු, අවුරුදු 74න් බාගයක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන, පාර්ලිමේන්තුවෙන් පඩි අරගෙන, ඇමැතිකම් ගනිපු අය දැන් චෝදනා කරනවා. විශ්‍රාම වැටුප් ගන්න ගමන් චෝදනා කරනවා.

මේ රටේ ශ්‍රමයට ගැලපෙන වැටුපක් ගන්න පුලුවන්, සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදන්න උත්සාහ ගනිපු හැම වෙලාවකම ඒවා කඩාකප්පල් කලේ මේ අය තමයි. රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වුනා නම් මේ සිස්ටම් එක චේන්ජ් වෙන්නේ මීට කලින්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනානම්, දේශපාලනිකව ඔවුන්ට වන හානිය නිසා තමයි හැම වෙලාවකම ඔහුට විරුද්ධ පිලේ හිටගත්තේ. මේ සිස්ටම් එක චේන්ජ් වුනාම, අපේ රට දියුණු තත්වයකට පත් වුනාම ඇයි මේ කලබලේ කියලා ලෝක වටේ යන්න බැරි වෙන නිසා තමයි මේ අය කලබල වෙලා තියෙන්නේ. වැඩ කරන මිනිස්සුන්ට මිස බොරු කියමින් යන අයට, පච කියන අයට දැන් ඉඩක් නැතිවෙමින් යනවා. ඒ නිසා තමයි මේ අය කලබල වෙමින් තිබෙන්නේ.

මේ අය කප්පම් නොදෙන විට කර්මාන්ත ශාලා විනාශ කළා. රටේ ආර්ථිකය විනාශ කළා. රටේ යම් සංවර්ධනයක් කරන්න හදන විට, මිනිස්සු පාරට බස්සලා අර්බුද නිර්මාණය කළා. ලංකාවේ වාමාංශිකයෝ වර්ජනය කරන තාක් කල් සිංගප්පූරුවට දියුණු වෙන්න පුලුවන් කියලා ලි ක්වාන් යූ කිව්වේ මේ නිසා. ආර්ථික ගොඩ නැගීමට තිබුණ හැම වෙලාවකම ඒක නැති කළේ වෛරය ක්‍රෝදය වපුරලා. දැන් දුප්පත් මිනිස්සුත් බලාගන්න නිසා මේ අය කලබල වෙලා. තමන්ගේ දේශපාලනය මෙතැනින් එහාට කරන්න බැරි වෙන නිසා තමයි මේ අය කලබල වෙලා තියෙන්නේ.

අපිට මිනිස්සු ජීවත් කරන්න කලබලයක් තිබුණා. සිස්සටම් එක චේන්ජ් කරන්න අපිට කලබලයක් තිබුණා. ඇයි මේ කලබලේ කියලා අපිත් අහනවා. තමන්ගේ දේශපාලන අනාගතය මෙතැනින් ඉවර නිසා තමයි මේ අය කලබල වෙලා තියෙන්නේ. කැලෑ වලට ගිහින් උත්තර දීගන්න බැරිව ඉන්නේත් රට හදන මතයට, රට ගොඩ නගන මතයට බොහෝ දෙනා එකතු වෙන නිසා. මේවාට මුහුණ දෙන්න බැරිව තනිවෙලා ඉන්න අයත් කලබල වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අය, පෙරටුගාමී අය තමයි කලබල වෙලා තියෙන්. මිනිස්සු අන්දන දේශපාලනය කරන්න බැරි වෙන නිසා තමයි මෙ අය කලබල වෙලා තියෙන්න්.