Political fact / දේශපාලන කතාබහ

0

අගමැති මාධ්‍ය මිතුරෝ හමුවෙති….

2022 වසර අවසාන වෙන්න ඔන්න මෙන්න තියා දෙසැම්බර් 30 වැනිදා මාධ්‍යවේදීන් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී මන්දිරයේදී පැවැත්විණි. 

රටේ ප්‍රශ්න රැසක් උද්ගතව ඇති අවස්ථාවක කා බී විනෝද වීම සුදුසු නැතැයි සිතූ අග්‍රාමාත්‍යවරයා  මෙම හමුව කෙටි ආහාර වේලකට පමණක් සීමා කරන ලෙස දැනුම් දී තිබිනි.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසුව මාධ්‍ය මිතුරන්  හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

එය වෙනස්ම ආකාරයේ මිතුරු හමුවක් විය.  එළිමහනේ පැවැත්වුණු මෙහි හිඳගැනීමට ආසන පනවා නොතිබුණි. මලින් සැරසූ ස්ටෑන්ඩ් ටේබල් කිහිපයක් එහි විය.උද්‍යානය  කෙළවරක සංග්‍රහය සූදානම් කර තිබිණි.

අගමැතිතුමා මේ අවස්ථාවට සහභාගී වන විටත් මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් එහි පැමිණ සිටියේය. 

අග්‍රමාත්‍යවරයා සමග ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර  ද එක්ව සිටි අතර ඔවුන් පැමිණි මාධ්‍යවේදීන් සමග ඉතා කුළුපගව සාකච්ඡාවේ යෙදිනි. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඉතිහාස රස කතා  කියමින් එතැන සිනා සයුරක් කළේය.

මේ සාදයට මත්පැන් කර නොතිබුණ ද එය මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක් නොවිය. අග්‍රාමාත්‍යවරයා අමද්‍යප මතදාරීබව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය මිතුරෝ දැන සිටියහ.

සාකච්ඡාව අතරතුර ම අග්‍රමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට එතැන් සංග්‍රහයට ආරාධනා කලේ

” මේ හට් එක ගහලා තියෙන තැන ටිකක් විශේෂයි” කියමිනි.

” මොකක්ද ඒ විශේෂත්වය”මාධ්‍යවේදීන් පෙරළා ප්‍රශ්න කළේය.

” මෙතන තමයි මන්දිරය අල්ලගත්ත අය උයාපිහා ගත්තෙ” අග්‍රමාත්‍යවරයා සිනාමුසුව කීය.

” දරලිප් වලින් නේද මෙතන උයලා තියෙන්නේ” තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගීය.

” ඔව්. ඒ අය දර විදිහට භාවිතා කරලා තිබුණේ මන්දිරයේ තිබුණු ඓතිහාසික වටිනා දැව භාණ්ඩ”

ඒ පෙදෙස හොඳින් නිරීක්ෂණය කළ තවත් මාධ්‍යවේදියෙක් ” මං ඒත් බැලුවා…. නිලට තියෙන තණකොළ පිට්ටනියේ මෙතන විතරක් පොළොව හිස් ඇයි කියලා” යි කීය.

උතුරු නැගෙනහිර කිව්වට අපි එකම රටක්….

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්ති විග්නරාජා මහත්මිය හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් ඉකුත් සතියේ පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහකාර පරිපාලක හා එක්සත් ජාතීන්ගේ වැඩසටහන් වැඩ සටහනේ ආසියා පැසිපික් කාර්යාංශයේ අධ්‍යක්ෂ ව සිටි ඇය එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ධූරයට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් පිරිනැමීය.

නිළ සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත කන්ති විග්නරාජා ” මම ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත කාන්තාවක්. උතුරු නැගෙනහිර ජනතාව කෙරෙහි වත්මන් රජය දක්වන සැලකිල්ල අගය කරනවා” කීය.

” උතුරු නැගෙනහිර කියල කිව්වට  අපි ඔක්කොම එකම රටක්”අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේය.

අගමැති සේවකයින් ලඟට…..

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2023 නව වසර සඳහා වැඩ ඇරඹීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. සියලු දෙනා අග්‍රමාත්‍යවරයා ඉදිරියේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දුන්නේ ය. ඉන් අනතුරුව නව වසරට සුබ පැතුම් අග්‍රමාත්‍යවරයා සෑම සේවකයෙකු ළඟටම පැමිණ ” සුභ අලුත් අවුරුද්දක් වේවා” යී කීය.

මේ සම්බන්ධයෙන් සේවකයින් අතර මහත් ප්‍රසාදයක් ඇතිවිය.

” මගේ සේවා කාලය ඇතුලේ මෙහෙම දෙයක් වුණේ පලවෙනි පාර”

” ඒකනෙ. වෙනදට අපි පෝලිමේ ගිහින් අගමැතිතුමාට සුබ පතනවා. අද අගමැතිතුමා අපි ළඟටම ඇවිත්  සුභ පැතුවා”

අගමැති කාර්ය මණ්ඩලය අඩු වුණත් වැඩ හරියට….

එදින සවස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක  අරලියගහ මන්දිරයේදී කාර්ය මණ්ඩලය ඇමතීය.

” මීට පෙර අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය හයසියකට අසන්න වුණා. දැන් ඉන්නේ 280 ක ටත් අඩු ප්‍රමාණයක්. පෞද්ගලික කාර්ය මණ්ඩලය 26ට සීමා වෙලා. මේක විශේෂත්වයක්.

ඒ තරම් ලොකු කාර්ය මණ්ඩලයක් අතින් සිදුවුනු දේවල් කිසිම අඩුපාඩුවක් නැතුව අදත් සිද්ධවෙනවා”  එහි දී අග්‍රාමාත්‍ය  ලේකම්වරයා කාර්ය මණ්ඩලයට සුබ පතමින් පැවසීය.

බුද්ධික, මේ පාර විමල් එක්කද? අගමැති එක්කද?

පසුගිය 4 වැනිදා අගමැතිවරයා නවගමුවට රජමහා විහාරයටත් පත්තිනි දේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව කොළඹ බලා පිටත් වීමට පෙර අග්‍රමාත්‍යවරයා තවත් නිවසකට ගොඩවිය.

ඒ කඩුවෙල මහ නගර සභාවේ සභාපති බුද්ධික ජයවිලාල්ගේ මවගේ නිවසයි.

” එතුමිය අපිට සෑහෙන්න උදව් උපකාර කරලා තියෙනවා. ගේ ළඟටම ආපු වෙලාවේ ඇයගේ සුවදුක් නොබලා යන්නේ කොහොමද” කී අගමැතිවරයා  එම නිවසට ගොඩවිය.

කඩුවෙල දේශපාලන වෙනසකට මුල පිරීමක් මේ පිටුපස ඇත්දැයි කසුකුසුවක් ද ඒ මොහොතේ ඇති විය.