Political fact / දේශපාලන කතාබහ

0

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු නියෝජිත පිරිසක් ඉකුත් සතියේදි පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා හමුවිය.

එහිදී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (Pefferal) මැතිවරණ ක්‍රම,  මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු,  යෝජිත සංශෝධන,  ජනතාවට වගකියන මහජන නියෝජිතයෙකු බිහිකිරීම,  තරුණ කාන්තා නියෝජනය,  මැතිවරණ අපේක්ෂක වියදම් පාලනය ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා විය.

සාකච්ඡාව අවසානයේ රෝහණ හෙට්ටිආරච්චි විසින් රචිත ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නම් කෘතිය අග්‍රාමාත්‍යවරයා අත තබා කළබලයෙන් ඡායාරූප ගැනීමට සැරසෙද්දී, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා රෝහණ හෙට්ටිආරච්චි ට පැවසුවේ “ප්‍රජාතන්ත්‍රවාදය හින්ද හිමින් දෙන්න” කියාය.

“ඒ උනාට මම ඒක හයියෙන් අල්ල ගත්තා” යයි අග්‍රාමාත්‍යවරයා සිනාසෙමින් කීවේය.

සර්ගෙන් එකට කිසි කරදරයක් වෙන්න නැති බව අපට විශ්වාසයි. ඒ නිසා හෙමින් ඇල්ලුවත් හයියෙන් ඇල්ලුවත් අවුලක් නැතැයි පැෆරල් නියෝජිතයින් පෙරළා පිළිතුරු දුන්නේය.

උදුවප් පොහෝ දිනයේදී “ධර්ම දීපනි“ පෝදා ධර්ම දේශනාව අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී. දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව සෑම මසකම පෝහෝ දිනකම අග්‍රාමාත්‍ය කාර්යාලය පැවැත්වූ ධර්මදීපනි  ධර්ම දේශනාව මෙවර අරලිය ගහ මන්දිරයේ පැවැත්වුණේ පළමුවරටයි.

ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළේ  සියම් මහා නිකායේ ඌව පාර්ශවයේ කාරක සංඝ සභික කර්ම වගාචර්ය,කොළඹ නව  කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය  ශාස්ත්‍රපති පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ය.

ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා  අගමැති දිනේෂ් ගුණවර්ධන  මහතා ඇතුළුව සැදැහැවත් හූ විශාල පිරිසක්ද එක්ව සිටියහ. දහම් පාසල් කිහිපයක සිසුහු  ද ඒ අතර වූහ. එම සිසුන්ට අරලියගහ මන්දිර පරිශ්‍රය දැකබලා ගැනීමට අවස්ථාව ද හිමිවිය. ඒ අතර අග්‍රාමාත්‍යවරයා සමඟ ඡායාරූප ගැනීමට ද දහම් පාසල් සිසුන් දැඩි උනන්දුවක් දැක්වීය.

“ දරුවෝ තමයි රටේ අනාගතය. ඔය දරුවෝ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න ඕනේ“  කී අග්‍රාමාත්‍යවරයා දහම් පාසල් සිසුන් සමඟ කතාබස් කොට ඡායාරූපවලට පෙනී සිටියේය.  

දෙහිවල ගල්කිස්ස නගර නගරසභාවේ මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් ඉකුත් 15 වැනිදා පැවැත්විණි. ඒ දෙහිවල-ගල්කිස්ස දෙහිවල ගල්කිස්ස නගර සභාවේදීයි.

මෙම අවස්ථාවට සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරයා නගර සභා පරිශ්‍රයට ඇතුල් වන විට බුලත් අතක් ගෙන ඉදිරියට පැමිණියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත් වූ මරීනා ආබ්දීන් මහත්මියයි.

බුලත් අත දී අගමැතිවරයා පිළිගත් මන්ත්‍රීවරිය දුටු සැනින් අග්‍රාමාත්‍යවරයාට  පෙර සිදුවීමක්  සිහිපත්ව මුවගට සිනහවක් නැගිණි.

ඒ සිනහව සමගම ” මේ අපේ ගොනා අපිට හොදා කියලා පෙළපාලි ගිය මන්ත්‍රීවරිය නේද” දැයි අග්‍රාමාත්‍යවරයා කියනවාත් සමගම පෙර සිදුවීම මතක් වූ සියලු දෙනාගේ මුවගට සිනහවක් එක් විය.

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නගරසභාවේ නගරාධිපති ධූරය හොබවන්නේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සුනේත්‍රා රණසිංහ මහත්මියයි.

මන්ත්‍රීවරු හා  පැවැති සාකච්ඡාව අවසානයේ ” සුනේත්‍රාට  දැං ඉතිං ප්‍රශ්න නැහැ නේ”  අග්‍රාමාත්‍යවරයා  කීවේය.

ඒ කතාව හරි හැටි නොවැටහුණු නගරාධිපතිනිය  අග්‍රාමාත්‍යවරයාගේ මුහුණ දෙස බැලුවාය.

” නෑ මං කිව්වේ.. දැන් විපක්ෂයත් ආණ්ඩුව කියලයි” අග්‍රාමාත්‍යවරයා කීය

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්  ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිලංග සුමතිපාල මහතා පත්කර ඇතැයි ඉකුත් සතියේ පුවත්පත් වාර්තා කර තිබිණි.

මෙම පුවත් වාර්තාව දුටු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ වික්ෂිප්තව තිබිණි. මෙතෙක් කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  තීන්දු තීරණ ගැනීමේදී සන්ධානය නියෝජනය කරන පක්ෂ වලින් සැදුම් ලත් විධායක සභාව විමසීමේ සම්ප්‍රදාය කඩකර තිබීම ඊට හේතු විය.

චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආරම්භක සභාපති වූ අතර සුසිල් ප්‍රේම ජයන්ත මහතා සන්ධානයේ ආරම්භක මහ ලේකම්වරයා විය. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ජාතික කොංග්‍රසයයි.

2004 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක් වූ ජනතා විමුක්ති පෙරමුණ” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය  මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආන්ඩුව පිහිටවීය.

පසුව කලින් කලට වෙනස්කම් වලට මුහුණ තුන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ සෑම අවස්ථාවකම තීන්දු තීරණ ගත්තේ සන්ධානය නියෝජනය කරන පක්ෂ වලින් සැදුම් ලත් සැදුම්ලත් විධායක සභාවේ දැනුවත්භාවය ඇතිවයි.

නමුත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විමසීමකින් තොරව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වෙනුවට තිලංග සුමතිපාල මහතා පත්කළ බව නිවේදනය කොට තිබිණි.

මේ සම්බන්ධයෙන් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය.

අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතරතුර මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මහ ලේකම් ඩග්ලස් දේවානන්ද, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ. එල්.එම් අතාවුල්ලා, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් පී. කලන්සූරිය පාර්ලිමේන්තුවේදී රැස් වූ යේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

” මේ විදියට සාකච්ඡාවකින් තොරව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සදාචාරාත්මක අයිතියක් නැහැ” නිතිඥ තිස්ස යාපා කීය.

” මේ තීරණය මාධ්‍යයට නිකුත් කරන්න කලින් එක පක්ෂයක් හරි දැනගෙන හිටියද” කලංසූරිය විමසීය.

සෙසු පක්ෂ නායකයින් සඳහන් කළේ එවැන්නක් තමන් දැන නොසිටි බවයි.

මේ අතරතුර  මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න මහත්වරු මේ සාකච්ඡාව පැවති ස්ථානයට විටින් විට පැමිණ යනු ද දක්නට ලැබිණි.

අවසානයේ සියලු සියලු දෙනාම එකඟතාවයකට පැමිණිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් වරයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණු තිලංග සුමතිපාල මහතා සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස හවුල්කාර පක්ෂ විසින් පිළිනොගන්නා බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුණේ ඒ අනුවයි.