රට වෙනුවෙන් වූ අවම පොදු වැඩ පිළිවෙලක් සහිත එකඟත්වයකට යොමුවීම සියළුම දේශපාලන පක්ෂවල වගකීමය

0
වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයට විසඳුම ලෙස තම ආණ්ඩුවට එක්වන ලෙස ගරු ජනාධිපතිතුමා විපක්ෂයේ සියළුම දේශපාලන පක්ෂවලට ඇරයුම් කර තිබේ. රට මුහුණ දී ඇති අර්බුදයේ දැවැන්ත ගැඹුර සැලකීමේදීත්, රටේ ජනතාව එක හඬින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණ ගැන අවධානය යොමු කිරීමේදීත් එය සැලකිය හැක්කේ පළදායක නොවන බලලෝභී ඉල්ලීමක් ලෙසටය.
එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන  ජාතික ව්‍යාපාරය මේ මොහොතේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අන් සියල්ලටම පෙර මේ රටේ සාතිශය බහුතර ජනතාවගේ ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දෙන ලෙසටය. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ රට මුහුණ දෙමින් සිටින අර්බුදයේ ගැඹුර මැනවින් තේරුම් ගනිමින් එම තත්ත්වය හමුවේ රට අරාජික වීම වැලැක්වීම සඳහා නොපමාව පොදු සම්මුතියකට එළඹෙන ලෙසටය. එකී සම්මුතිය හුදු සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් හෝ මේ රටේ එක්තරා සීමිත පවුල් කණ්ඩායමක පාලනයක් වෙනුවෙන් නොවිය යුතුය. පළමුව රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදය සමහන් කරගනිමින් ඒ සමඟම නොපමාවම රාජ්‍යයේ හා ආණ්ඩුකරනයේ මූලික ප්‍රතිසංස්කරණ  සඳහා වන වැඩපිළිවෙලක් වෙනුවෙන් එකී සම්මුති ගත වීම සිදුවිය යුතුව ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයයි.
ඒ අනුව අපගේ ප්‍රථම යෝජනාව වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ වල සහභාගිත්වයෙන් හෝ එකඟත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටවා ගැනීම මැනවැයි යන්නය. එම භාරකාර රජයේ ප්‍රථම කාර්යය විය යුත්තේ රටේ ව්‍යාවස්ථාදායකය දුර්වල කරමින් හා අකර්මණ්‍ය කරමින් එක් පුද්ගලයෙක් වෙත අසීමිත බලතල කේන්ද්‍ර කරගෙන ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමය.  එමෙන්ම 19වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයෙහි හඳුනාගෙන ඇති දුර්වලතා ඉවත් කරමින් එහි මූලික පදනම මත ගොඩනැගෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යොමු වීමය.
අනතුරුව සිදුවිය යුතු කඩිනම් පියවර විය යුත්තේ රට මුහුණ දී ඇති ගෙවුම්ශේෂ අර්බුදය හා එය හේතුවක් ද කරගනිමින් පැන නැගී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ  වරුන්ගේ හා  විශේෂඥ  ආයතනයන්හි  සහයෝගය ලබා ගනිමින් නිසි විසදුම් සපයා ගැනීමය. පැහැදිළිවම ඒ සඳහා යොදාගත යුතුව ඇති නිශ්චිත වැඩ පිළිවෙල හා කාලරාමුව රට හමුවේ ප්‍රකාශ කිරීම එහිදී අතිශයින්ම වැදගත්ය.
එහි තෙවන පියවර විය යුත්තේ භාරකාර රජය බලයට පත්වීමෙන් මාස 12ක කාලයක් සම්පූර්ණ වීමට පෙර රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උදෙසා යොමු වීමය. එහිදී මූලික වගකීම වනු ඇත්තේ අසීමිත හා අත්තනෝමතික විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතා පරමාධිපත්‍යය, රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය, රටේ ඒකීය භාවය හා ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමය. එහිදී මේ රටේ ජනතාවගේ අදහස් හා යෝජනා ද පාදක කරගෙන එම ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සිදු කිරීම අත්‍යාවශ්‍යය. භාරකාර රජයේ මූලික වගකීම හා කාර්යභාරය එපමණකට සීමාවිය යුතුව ඇතැයි යන්න අප සංවිධානයේ ස්ථාවරය වන අතර, එය සම්පූර්ණ කිරීමත් සමඟ නව රජයක් බිහිකර ගැනීම උදෙසා රටේ පුරවැසියන්ට අවස්ථාව ලබාදෙමින් වහාම මහ මැතිවරණයකට යොමු විය යුතුව තිබේ.
මෙකී තෙවදෑරුම් යෝජනා අප විසින් රටේ සියලුම දේශපාලන පක්ෂ වලට හා සමස්ත මහජනතාව වෙත යොමු කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනි. එමගින් අප අපේක්ෂා කරන්නේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින අනේකවිධ දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා වන මාවතකට යොමු වීම මෙන්ම රටේ යහපැවැත්ම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා  අවම වැඩපිළිවෙලක් සහිත පොදු එකඟත්වයක් ඇති කර ගැනීමටය. එමෙන්ම මෙම යෝජනාවට පදනම් වූ කරුණු මුල් කරගනිමින් ඒ ඒ දේශපාලන පක්ෂ යෝජනා කරන අදහස් හා යෝජනා ද රටට ඉදිරිපත් කරමින් මේ රටට ආදරය කරන, රටේ මතු අනාගත පරපුරේ යහපත හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන සියළුම බලවේග නොපමාව පෙරට ආ යුතුව ඇතැයි යන්න අපගේ ඒකායන අපේක්ෂාවය.
දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාකිත ව්‍යාපාරය
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය