වෛද්‍යවරුන් සඳහා රක්ෂණ ක්‍රමවේදයක් නිර්මාණය කල යුතුයි – MCPA

0

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයමින් සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් වෛද්‍යවරුන් සහ පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරුන් තම සේවා කාල සීමාවේදි විවිධ දරුණු රෝගාබාදයන්ට මෙන්ම හදිසි අනතුරුවලට සම මරණයට පත්වන බවත් ඒ සඳහා එම වෛද්‍යවරුන් සඳහා සහන රක්ෂන ක්‍රමයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් මෙන්ම පශ්චාත් වෛද්‍ය උපාධිය හැදැරීමට විදේශගතව සිටින වෛද්‍යවරුන් ද අදාල කාලසීමාවේදී හදිසි රෝගාබාධයන්ට හෝ මෙරට දී මෙන්ම විදේශයන්හිදී ද මරණයට පත්වන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා මෙතෙක් කිසිදු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක නොවූ බවයි.

එමෙන්ම මෙම විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් විවිධ වෘත්තීය සමිති වල සාමාජිකත්වය ලබාගෙන තිබුනද ඔවුන් විසින් අදාල වෘත්තිය සමිති වෙත වාර්ෂිකව විශාල සාමාජික මුදලක් ගෙවන නමුත් බොහෝ වෘත්තීය සමිති විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ සුභසාධක කටයුතු සම්බන්ධයෙන් අවම හෝ අවධානයක් යොමු නොකිරීම මේ වන විට කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

බොහෝ විට වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන බැවින් මෙවැනි ක්‍රමවේදයක් අවශ්‍ය නොවන බවට මතවාදයක් සමාජය තුල ඇති නමුත් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන වෛද්‍යවරුන් මෙන්ම පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුනද රටේ පවතින ආර්ථික තත්වයත් සමග දරාගත නොහැකි වියදම් වලට වෛද්‍යවරුන් ලක් වීමත් නිසා හදිසි රෝගාබාධ පිළිකා ආදී රෝගී තත්ත්ව හෝ හදිසි අනතුරු මෙන්ම හදිසියේ පවුලේ ආදායම් මාර්ගය ප්‍රධාන වශයෙන්ම සපයයන අදාල වෛද්‍යවරයා හෝ විශේෂඥ වෛද්‍යවරයා මිය යාමත් සමග එම පවුල් බරපතළ ලෙස අසරණ තත්ත්වයට පත්වන බව නිරීක්ෂණය වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මෙවන් තත්ත්වයක් යටතේ හදිසි අනතුරට පත්වන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම මේ වන විට ඉතා අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවත් දැනටමත් මියයන හෝ වෛද්‍යවරුන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදයක් නොමැතිවීම නිසා එම වෛද්‍යවරුන් අනතුරට පත්වීමෙන් හෝ මිය යාමෙන් පසුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ දරුවන් විශාල වශයෙන් අසරණ වන බවද ඔහු විසින් සඳහන් කරයි.

මීට අමතරව විදේශීය විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා පිටත්ව යන ඇතැම් වෛද්‍යවරුන් එම රටවල්වල දී චර්ම රෝගාබාධයන්ට ලක් වීම හෝ හදිසියේ මියයන අවස්ථාවන්වලදී පවුලේ සාමාජිකයන් විශාල වශයෙන් මූල්‍යමය අර්බුද වලට ලක්වන බවත් ඒ වෙනුවෙන් බොහෝ වෛද්‍යවරුන් සාමාජිකත්වය දරන කිසිදු  වෘත්තීය සමිතියක් කිසිදු හඬක් නොනගන තත්ත්වයක් දක්නට ඇති බවත් මේ හේතුවෙන් පවුලේ සාමාජිකයන් විශාල වශයෙන් පීඩා විඳිමට සිදුවන බැවින් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම හරහා අදාළ අනතුරට පත්වන වෛද්‍යවරුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මෙවැනි හදිසි අවස්ථාවකදී පිහිටවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට කාලය පැමිණ ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මෙම සිදුවීම් නිරීක්ෂණය කොට තමන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරි කාලයේ දී තම යෝජනාවලිය ඉදිරිපත් කිරීමටත් රජයට අනුබද්ධ රක්ෂණ සමාගමක් සමග සාකච්ඡා කොට තම සාමාජිකයන් සහ වෙනත් වෘත්තීය සමිතිවල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා දැනටමත් මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බවත් චමල් සංජීව මහතා පැවසීය.