වකුගඩු ජාවාරම උඩු දුවයි

0
මිනිස් අවයව ජාවාරම් විරෝධී කණ්ඩායමක් විසින් නීතීඥ ඉඳුනිල් බණ්ඩාර මහතා හරහා වසර ගනනාවක් පුරා පවතින නීති විරෝධී වකුගඩු ජාවාරමට එරෙහිව පැමිණිල්ලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කොට ඇත.  පෙත්සම්කරුවන් විසින් වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලබා තිබෙන විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් පිලිබඳව විමර්ශණයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්‍ය වජිර දිසානායක මහතා වෙත ඉල්ලීමක් කොට තිබේ.
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළදී   නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් රැසක්  සිදුකර ඇති බවය.  ලංකාවේ වෛද්‍යවරු කීප දෙනෙක් විසින් රහසිගතව පවත්වාගෙන යන නීති විරෝධී වකුගඩු ජාවාරම පිලිබඳව ඉන්දියාවේ “ද හින්දු’ පුවත්පතද වාර්තා කර තිබිණි.  පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙන පරිදි  ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව  ඉතා ප්‍රබලය. වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන මෙම ජාවාරම දෙවනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. අතලොස්සක් වූ වෛද්‍යවරු පිරිසක් පාලනය කරන මෙම මාෆියාවේ මාසික ගෙවීම් ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්   සිටින බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති .වකුගඩු මාෆියාවේ රැකවරණය සහිතව ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු වන බව වාර්තා වේ. මෙම මාෆියාව නිසා මේ වන විට ශ්‍රී ලංකාව නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.  වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන නීති විරෝධී වකුගඩු ජාවාරම නිසා ලංකාවට ක්‍රමවත්ව ගලාගෙන ඒමට නියමිතව තිබූ අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වී ඇත.
2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප‍්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සහ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලදි.  තවද වකුගඩු පිළිබඳ විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි මෙම නීති විරෝධී ජාවාරමේදී සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සිදු කොට තිබෙන බව හෙළි විය.  මේ නිසා එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ පිලිබඳව විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට සිදු විය. නමුත් වකුගඩු ජාවාරම පිළිබඳව කමිටු වාර්තා යට ගසනු ලැබීය. මෙම  පරීක්‍ෂණය යටපත් කිරීමට උපකාර කල වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියාට වකුගඩු මාෆියාව විසින් අළුත්ම රේන්ජ් රෝවර් රථයක් තෑගි කල බව පසුව හෙළි විය.  නීති විරෝධී වකුගඩු ජාවාරමට සෘජුවම හෝ වක්‍රව සම්බන්ධ වූ නිලධාරීන් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින අතර ඔවුන් වකුගඩු මාෆියාවෙන් යැපෙන බව කියවේ. මේ නිසා මෙම සදාචාර සහ නීති විරෝධී මිනිස් අවයව ජාවාරම නවතා දමන ලෙසටත් මෙම ජාවාරමට සම්බන්ධ වූ වෛද්‍යවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් පෙත්සම්කරුවෝ වැඩි දුරටත් ඉල්ලා සිටිති