අද පාර්ලිමේන්තුව

0

අද පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වූ අතර පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්විය. විරුද්ධ පාර්ශවයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ මිනිත්තු දහයකට අත්හිටුවීමට ගරු කථානායකවරයාට සිදුවිය.

ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින ඉන්ධන සහ විදුලිබල ගැටලුව පිළිබදව කරුණු විමසන ලද අතර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඊට පිළිතුරු ලබා දෙන ලදී. එසේම  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු  අනුර දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ දෙහිගම ඇකිරියන්කුඹුර ප්‍රදේශයේ හෙක්ටයාර 149.3 ක භූමි ප්‍රදේශය බහුජාතික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබද සභාවේ අවධානයට යොමුකළ අතර අමාත්‍ය ගරු  චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වත්මන් කොවිඩ් තත්ත්වය පාලනයට රජය ගත් පියවර පිළිබදව සහ ඊට භාවිතා කළ හැකි දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසන ලදී.

අද දින සභාව කල් තබන අවස්ථාවේ  ප්‍රශ්න යටතේ  පාර්ල්මේන්තු මන්ත්‍රී ගරු යදාමිණි ගුණවර්ධන මහතා විසින්  මෙරට දුම්රිය සේවය දියුණු කිරීමට ඇති හැකියාවන් පිළිබදවද පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් උතුරු පළාතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ  සේවක ගැටලුවක් පිළිබදව විමසන ලදී.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතා විසින් අද වන විට කිරි ගොවියා මුහුණ දෙන තෘණ භූමි සහ වනජීවී කලාපවලට සතුන් ඇතුළත් කිරීමේදී ඇති වී තිබෙන ගැටලු පිළිබදව ඉදිරිපත් කළ  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව හෙට (25) පෙ.ව 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තබන ලදී.