ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන‍ට ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක්

0
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන‍ට ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක්.
මේ වසරේ දෙවන කාර්තුවේදී ලබාදීමට මුදල් ඇමතිවරයා එකඟ වූ බව සංචාරක ඇමති කියයි‍.
ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය  ප්‍රවර්ධන වැඩසටහන සදහා මේ වසරේ දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟත්වය පල කරයි. සංචාරක කර්මාන්තය පිලිබදව මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පල වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙරට ප්‍රධාන සංචාරක වෙළඳපොල ඉලක්ක කර ගනිමින්  ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වසර 5ක් තුල ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූයේ පසුගිය වසරේයි. මේ වසරේ දෙවන කාර්තුවේ සිට එය ක්‍රියාත්මක කිරීමට ඒ අනුව සැලසුම් කෙරින. මේ වනවිට ඊට අදාල මූලික කටයුතු සිදුකර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා ප්‍රචාරක වැඩසටහන් කලමනාකරණ ඒකකයක්, නිර්මාණාත්මක නියෝජිතායතනයක් හා ඩිජිටල් නියෝජිතායතනයක් පත් කිරීම සදහා කටයුතු කරමින් පවතීයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, රුසියාව, මැදපෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, ස්පාඤ්ඤය, ස්කැන්ඩිවේනියාව ඇතුළු රටවල් 16ක් මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇතුලත් වේ. මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මහජන සබඳතා සමාගම් පත් කිරීමට අපේක්ෂිතයි.
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට අමතරව ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි තවත් රටවල් ගණනාවක් සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කිරීමට ද සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට උපදෙස් දුන් බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු කියා සිටියි.
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාව මුලින්ම ක්‍රියාත්මක කලේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස බැසිල් රාජප්කෂ මහතා සංචාරක විෂය භාරව කටයුතු කල කාලයේයි. ඉන්පසු මෙවැනි ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක නොවූ  බවත් මෙම ගෝලිය සංචාරක වැඩසටහන යලි ආරම්භ වූයේ 2012 වසරෙන් පසුව බවත් ඇමතිවරයා පෙන්වා දෙයි .