Political fact / දේශපාලන කතාබහ

0
කොවිඩ් පරාජය කරලා රටේ ආර්ථිකය ගොඩ නැගීමේ අරමුණ ජයග්‍රහණය කරන්න නම් පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට සීමා කර පොදු  අරමුණකින් කටයුතු කල යුතුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අදහස් දැක්වූ ඇමැතිවරයා, ආණ්ඩුවට එකතු වෙල තියෙන සමහර දේශපාලන පක්ෂ වල අයත් ආණ්ඩුව විවේචනය කරන්න  පටන් අරන්. ඒක ඒ අයගේ  දේශපාලන ප්‍රතිපත්තිය එක්කයි තීරණය වෙන්නේ. නමුත් ආණ්ඩුවක් වුනහම මොන විවේචන තිබුණත් සාමූහික වගකීම ආරක්ෂා කළ යුතුයි. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ ඉදගෙන විවේචනය කරන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්නයි. යුද්ධය වෙලාවෙත් මේ වගේ අසීරු අවස්තා ඇති වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට එකතු නොවුණානම් අද ඒ අයට තියෙන මන්ත්‍රී ආසන ටිකත් නෑ. මෛත්‍රීපාල සිරිසේනත් පරදිනවා. ඒ නිසයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා එදා ඉක්මනට ඇවිත් නාමයෝජනා වලට අත්සන් කළේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකුනේ පොහොට්ටුව නිසා. ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ අයට යන්න තැනක් නැති වෙලාවේ තමයි පොහොට්ටුව හැදෙන්නේ. බණ්ඩාරනායක මහත්තයා යූ.ඇන්.පියෙන් එලියට බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ වෙනත් අරමුණකින්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන වගේ නායකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් පක්ෂය යූ.ඇන්.පි යට අරන් ගියා. ඔය කවුරු කෑගැහුවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය ජනතාව ඉන්නේ අපි එක්කයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතාගෙන ඉන්නේ ආන්ඩුව විවේචනය කරපුවාම තමන්ට ජනතාවගේ ප්‍රසාදය ලැබෙනවා කියලයි. ඒ අය ඊලගට කාටද හේත්තු වෙන්නේ කියලා බලාගෙන වැඩ කරන්නේ.
කොවිඩ් පරාජය කරලා රටේ ආර්ථිකය ගොඩ නැගීමේ අරමුණ ජයග්‍රහණය කරන්න නම් පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට සීමා කර පොදු  අරමුණකින් කටයුතු කල යුතුයි. රටක් වෙනුවෙන් වැඩ කරන්න බැරි විපක්ෂ නායක සහ අනෙකුත් පක්ශ නායකයෝ උත්සහ කරන්නේ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න. දැන් අනුර කුමාර, සජිත් ප්‍රේමදාස , පාටලී ජනාධිපති කිට් මහලා. තව අවුරුද්දක් විතර යනකම් ඒ අය ජනාධිපති හීන දකියි. ඒ අය ජනාධිපති වෙන්නේ ෆේස්බුක් වල මිසක් මහ පොළොවේ නෙමෙයි.  ආණ්ඩුවේ රට ගොඩ නගන වැඩ පිළිවෙල මේ වසරේ සාර්ථක විමත් එක්ක මේ සිහින ජනාධිපතිවරුන්ගේ රෙදි ගැළවෙනවා.’’
අගමැතිගේ දතේ කැක්කුම ගිය දුරක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ අසනීප වූ බවත්  හදිසි සැත්කමකට භාජනය කල බවත් ඔහුගේ ගිණුමේ මුදල් ඔහුගේම ලේකම් වරයෙක් සොරාගත් බවටත් පසුගිය දින පුරාවටම බෙහෙවින්ම කතා බහට ලක්විය. අගමැති පුත් නාමල් රාජපක්ෂ දිගින් දිගටම එසේ සිදුවීමක් නොවූ බවට පැවසුවේය. කෙසේවෙතත් අගමැති මහින්ද රාජපක්ෂට පසුගියදා සැත්කමක් සිදුකළ බව උත්සව සභාවක් අමතමින් චමල් රාජපක්ෂ මහතා පවසා ඇත. එම අවස්ථාවට අගමැතිතුමා සම්බන්ධ නොවන්නේ අදාළ සැත්කමට භාජනය වූ නිසා බව ඔහු එලෙස පවසා ඇත.
අගමැති සැත්කමකට භාජනය කල බව පසුගියදා මාධ්‍ය වාර්තා පල කල අතර ඒ සම්බන්දයෙන් අපි සිදු කල විමසුමේදී අගමැති මාධ්‍ය අංශය පැවසුවේ මෙම පුවත් අසත්‍ය බවයි. එමෙන්ම අප සිදුකල විමසුමට අනුව අගමැතිට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ අගමැතිට ඇතිවූ දතක වේදනාව හේතුවෙන් ඊට අවශ්‍ය සැත්කමක් සිදු කල බවය. කෙසේ වෙතත් ඇමැති නාමල් රාජපක්ෂ එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ තමා සිය පියා සමග ලෙඩෙකු බැලීම සඳහා රෝහලට ගිය බව තවත් විටකදී පවසා තිබිණි.
මැදහත් මාවතක් පිණිස විවෘත දේශපාලන කතිකාව
මෙරට දේශපාලනයේ ඉදිරි දිශානතිය විය යුත්තේ කුමක් ද? පිළිබඳ විවෘත සාකච්චාවක් ඉකුත් 22 තිඹිරිගස්යාය ජානකී හෝටලයේ දී පැවැත්විණි.එය සංවිධානය කළේ “මැදහත් මාවත”විසිනි. විපක්ෂයේ පක්ෂ රැසක නියෝජිතයන් ඊට එක්ව සිටියහ. වන සමඟි ජනබලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමබිම පක්ෂය, ලිබරල් පක්ෂය, ජනතා පක්ෂය, නව ලංකා නිදහස් පක්ෂය, පොදුජන විජය පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, සහ සාධාරණ සමාජය, එක්සත් පුරවැසි සංධානය, පුරවැසි හඩ, මව්බිම සුරක්ෂා එකමුතුව, ජතික විද්වත් සබාව ,ජනතාවාදී බුද්ධිමණ්ඩපය, එක්සත් කම්කරු සංවිධානය, නීතිවේදී සංවිධාන ඇතුළු  සිවිල් සංවිධාන සේම වෘත්තීය සමිති, මාධ්‍යවේදීන්, සාහිත්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු බහුජන ව්‍යාපාර ගණනාවක නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය. මෙරට  මුහුණ පා ඇති දැවැන්ත අභියෝග හමුවේ එක්සත් සහ මධ්‍යස්ථ වැඩපිළිවෙලක් නිර්මාණය කරගැනීමේ ආරම්භයකි.
එහිදී විපක්ෂ නායක සජිත් කළ කතාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් විය.
“මේ වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් අපිට ගොඩ එන්න පුලුවන්ද ? බොහොම පැහැදිලිව පුළුවන්. නිවැරැදි වැඩපිළිවෙළක් තුළ ජන සමාජය අතිමහත් බහුතරයක ගේ සහයෝගයක් ලබාගෙන මේක මේ ජනාධිපතිවරයෙකුට වත්, අගමැතිවරයකු ට වත්, ආණ්ඩුවකට වත් මේ හුදෙකලාවේ යන්න පුළුවන් දෙයක් නෙමෙයි.  සමස්ත ජන  සමූහයම ඒකරාශී කරගෙන  යා යුතු ගමනක් විය යුතුයි” සජිත් එහිදී කීවේය. “අපේ නාගමුව සහෝදරයා කියපු කරුණු කිහිපයක් එක්ක මම එකඟ වෙනවා. එතුමා කිව්වා මේ ආර්ථික ක්‍රමය තිබෙන බරපතළ දුබලතාව. ඔව්, බරපතළ දුබලතාවයක් තිබෙනවා. ඒක අපේ පිළිගන්නට ඕනි.
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 අදායම් සහ සම්පත් බෙදීයාමේ සංඛ්‍යාලේඛන බැලුවහමඅපි රටක් හැටියට ලැජ්ජා වෙන්න ඕනි. ආදායමේ සියයට, දළ වශයෙන් ම මේ ගණන් කියන්නේ මොකද හෙට උදේ ඕක වැරදියි කියන්න පුළුවන්. පෝසත්ම  20%යි. මේ රටේ සම්පත් වලින් සහ ආදායමෙන් 52% ප්‍රමාණයක් භුක්ති විඳිනවා . 20% ක් මහා බහුතරයක් භුක්ති විඳින කොට 50% කටත් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින කොට මේ රටේ ජන සමාජයේ දුප්පත්ම 20% අපේ රටේ සම්පත් සහ ආදායම්වලින් භුක්ති විඳින්නේ 4.5% , 5% ත් අතර ප්‍රමාණයක්. ඒ නිසා අර සුපුරුදු විදිහට ආර්ථික වර්ධන වේගය කියන එක අපිට අමුවෙන් පිළිගන්නට බැහැ. මේක තමයි  තිබිය යුතු ප්‍රධානම දර්ශනය”. සජිත් කීවේය. ජාතික ආණ්ඩු ගැන විහිලු කතා.
“සමහරු දැන් ජාතික ආණ්ඩු හදන්න යෝජනා ගේනවලු”. තුෂාර ඉදුනිල් කීවේ වෙබ් අඩවියක පලවූ පුවතක් ගෙනහැර පාමිණි. “රට ලෙල්ලටම වැටිලා තියෙන වෙලාවේ මෙයාලා ඒකට මුවාවෙලා බෙදාහදාගෙන කන්න හදන්නේ.මේ ආණ්ඩුව රටට කරපු විනේසේ හැටියට ජාතික ආණ්ඩු තියා එකට ඉදගන්නවත් පුලුවන් ද?” අශෝක් අබේසිංහ කීවේය. “තනි ආසනයක් තියෙන අය අගමැතිලත් වෙලා.හැබැයි ඔය කතාව හොදයි,මොකද ඒ අයට තියෙන්නෙ ඉතිහාසගත ඩීල්නෙ” මරික්කාර් පිලිතුරු දුන්නේය. “රාජකාරිවලට බයිසිකලෙන් යන්න කියලා යෝජනාවක් ගෙනල්ලා ලු” එහෙම කීවේ හර්ෂන රාජකරුණාය. “ඕක තමයි කාබනික පොහොරවලට කරපු එකේ දෙවෙනි version එක”. නලින් බණ්ඩාර සිනාසෙමින් කීවේය.
“V8වලින් ගිහිල්ලා බහින ඇමතිවරු තමයි මිනිස්සුන්ට බයිසිකල් බයිසිකල්වලින් වැඩට යන්න කියන්නේ.මේ හැම දේකින්ම පේන්නේ මේ ආණ්ඩුව කොච්චරක් බංකොලොත්ද කියන එක” සජිත් කීවේය.
වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් නව නගර ශාලාව පිරෙයි.
සමගි ජන බලවේගයට අනුබද්ධ සමග සේවක සංගමයේ  පළමු සංවත්සර උත්සවය පසුගියදා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ දේශපාලන නායකකාරකාදීන් රැසකගේ සහභාගිත්වයෙනි. සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මේ එහිදී විපක්ෂ නායකතුමා කළ සම්පූර්ණ කතාවයි.
“සමගි ජන බලවේගය අප සතු  කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි අපේ කම්කරු ශ්‍රමයට , එහි සාමාජිකත්වයට අපි වග වෙන්නත් ඕනේ වග කියන්නත් ඕනේ. මම ඔබ සියලු දෙනාටම හදපත්ලෙන්ම පොරොන්දු වෙනවා සමගි ජන බලවේගය රජයක් තුළ සාමාජිකත්වය ටත් ඔබ සියලු දෙනාටත් රටේ කම්කරු ප්‍රජාවටත් අපි වග කියනවා ඒ වගේම වග වෙනවා. එය ප්‍රකාශ කරන්නේ ඉමහත් ඉමහත් ශක්තියකින් සහ විශ්වාසයකින්”. සජිත් කීවේය.
එහෙම කීවත් සජිත් තම කතාවේදී රාජපක්ෂ පාලනයට ද දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. අද වර්තමාන යථාර්තය කුමක්ද ? මහා ලොකුවට වීරයෝ කියලා, මහලොකුවට සූරයෝ කියලා රාජපක්ෂ පාලනයක් බිහි කළා.  මහලොකුවට කිව්වා සෞභාග්‍යයෙ සුරපුරේ නිර්මාණය කරනවා කියලා. නමුත් බිහිවෙලා තියෙන්නෙ මේ රාජපක්ෂ පාලනය තුළ වෙන්දේසි සුරපුරයක්. මේ රටේ රාජ්‍ය දේපළ, රාජ්‍ය ආයතන , දේශීය සම්පත් මේ රටේ ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට තුට්ටු දෙකට දෙස් විදෙස් ගජ මිතුරන්ට විකුණා දැමීමේ මේ මහා ජාවාරම්කාර ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන මොහොතක්.” සජිත් කීවේය.
රංජන් නිදහස් කරන සටන හරින්ගේ කරට
මේ අතර ,සිරගතව සිටින රන්ජන්ව නිදහස් කර ගැනීම සඳහා සමගි ජන බලවේගය සිය අරගලය තවදුරටත් තීව්‍ර කොට තිබේ. සිය මන්ත්‍රීවරයා බලන්නට වැලිකඩ සිරගෙදරට ගිය සජිත් එළියට පැමිණ මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේ  රංජන්ව නිදහස් කරගැනීමේ අරගලය අලූත් වටයකින් ආරම්භ කරන බව ය.
ඒ වගකීම සජිත් සිය  පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී හරින්ට භාර දුන්නේය. සියලු දෙනාම එකතු වී රට ගොඩ නගමු යැයි නාමල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟම හරින් කීවේ ” රන්ජන් ම නිදහස් කර ගැනීමටත් දායක වෙමු කියාය. අනතුරුව හරින් කළේ රන්ජන් නිදහස් කරගැනීමට දායක වෙන ලෙස ආණ්ඩු පක්ෂය ඇතුළු සියලුම පක්ෂවල සියළු ලොවම පක්ශවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමය. ඒ සඳහා ඔහු අත්සන් ලිපියක් ද පිළියෙල කළේය. ඒ සමඟම සමගම රටේ ජනප්‍රිය කලාකරුවන් ද තවත් පැත්තකින් රංජ නිදහස් කර ගැනීමේ අරගලයට දායක විය. “මේ වෙලාවේ කොහෙන් හරි රංජන්ට නිදහස ලැබෙනවා නම් ඒක තමයි විය යුත්තේ”. හරින් කීවේය.
පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් දුන්නේ ගම්පහ කොවිඩ් ව්‍යාප්තිය හා ඉදිරි ක්‍රියාමාර්ග  පිළිබඳව සාකච්ඡා කිරීමටයි. “ප්‍රසන්න, බූස්ටර් එන්නත ගන්න ජනතාව ඒ තරම් උනන්දුවක් නැහැ වගේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සැලකිය යුතු පිරිසක් බූස්ටර් එන්නත අරන්  නැහැ”. “ඔව් සර්, අපේ එම්.ඕ.එච්.වලිනුත් කියන්නේ ඔය කාරණයමයි. “අපි මේකට පිළියමක් යොදන්න ඕනේ. අපි ඉක්මන් කලේ නැත්නම් තත්ත්වය ආයෙත් දරුණු වෙන්න පුලුවන් “
” හරි ජනාධිපතිතුමා. මම හෙටම දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව රැස්කරන්නම්”
” ඒක හොදයි ප්‍රසන්න. මොකද, බස්නාහිර පලාතේ පැතිරීම සීඝ්‍ර වෙන්න පුලුවන්.  විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ .”
” සමහර එන්නත් මධ්‍යස්ථාන හිස්. බොරු ප්‍රචාර නිසා ජනතාව එන්නත ගන්නෙ නැහැ “
” අපි ජනතාවට ඇත්ත පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ආයෙත් පහුගිය කාලේ වගේ වෙනවා.කොවිඩ් හැදුනත් ජනතාව ආරක්ෂා වෙන්න නම් ප්‍රතිශක්තිකරණ එන්නත ගන්න ඕනේ “
” කොවිඩ් කමිටුව කැදවලා මේ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නම් ජනාධිපතිතුමා”
“ප්‍රසන්න මේක ගැන බලලා ඉක්මනින් පියවරක් ගන්න. “කී ජනාධිපතිවරයා හා රණතුංග ඇමැතිවරයා  දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
එම දුරකතන ඇමැතුම අවසන් වූ වහාම ඇමැතිවරයා දුරකතනය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇමතීය.
“දිස්ත්‍රික් ලේකම්තුමා මට මේ දැන් අපේ ජනාධිපතිතුමා කතා කළා. දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු ගැනයි එතුමා ඇසුවේ.“
“ඇමැතිතුමා, අපි මොන තරම් දැනුවත්කිරීම් කළත් බූස්ටර් එන්නත ගන්න ජනතාව ඒ තරම් උනන්දු නැහැ.“
“ ඒ කාරණය ගැන තමයි ජනාධීපතිතුමාත් ඇහුවේ“
“ පහුගිය පාර එන්නත් දෙක දෙන වෙලාවේ ජනතාව තුළ තිබුණු උනන්දුව මේ වතාවේ පේන්නේ නැහැ. අපි ළග තියෙන සංඛ්‍යා ලේඛණවලින් ඒක පැහැදිලියි. ගිය පාර අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය මදි වුනා. ඒ තරමට එන්නත ගන්න සෙනග උනන්දු වුනා. මේ පාර එන්නත් තියෙනවා. සෙනග එන්නේ නැහැ“
“ අපි මේ ගැන කතාකරමු. මොකද කරන්නේ කියලා තීරණයක් ගන්න දිස්ත්‍රික් කොවිඩ් කමිටුව හෙටම රැස් කරන්න“
“හරි ඇමතිතුමා. මම හෙට උදේ රැස්වීම තියන්න ලැහැස්ති කරන්නම්“
පසුදා උදෑසන ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමුටිව රැස්විය. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මිලාන් ජයතිලක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ද මේ අවස්ථාවට එක්ව සිටිහය‍ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර ඉකුත් දෙසැම්බර් මාසයේ වාර්තා වූ රෝගින් සංඛ්‍යාව සමග සැසදීමේදී රෝගීන් ප්‍රමාණාත්මකව වැඩි වී ඇති නමුත් මේ වන විටත් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වී ඇති බව එහිදී හෙළීදරව් විය.
“ මරණ සංඛ්‍යාව පාලනය කර ගන්න පුලුවන් වෙලා තියෙන්නේ පළමු එන්නත් මාත්‍රා දෙක සාර්ථකව එන්නත්කිරීමට හැකි වුණ නිසා. ඒ එන්නත මගින් ජනතාවගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩ නැගිලා තියෙන්නේ“ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කිවේය.
“ ඒක නම් ඇත්ත“ කි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීය. “ දැන් අපි පුළුවන් තරම් ඉක්මනින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගන්න ඕනේ“
“ මේ වෙලාවේ කළ යුතු හොදම දේ බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව යොමු කරවිමයි.“ කී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා “ විපක්ෂයේ පක්ෂවලට උවමනා වෙලා තියෙන්නේ කොවිඩ් ව්‍යාප්ත වෙනවා දකින්න. ඒ නිසයි බූස්ටර් එන්නත ගැන නොයෙකුත් වැරදි ප්‍රචාර ජනතාව අතරට යවන්නේ “ කීවේය.
“ඒ අය කොහොමත් රටට හොදක් වෙනවාට කැමති අය නෙවෙයිනේ. මේ වෙලාවෙත් පුලුවන් නම් කොවිඩ් වලින් හරි බලයට එන්න තමයි උත්සාහ කරන්නේ. අපි ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ක්‍රමවේද හිතුවට ඒ අය හිත්නනේ ජනතාව මැරුණත් කමක් නැහැ.රට අවුල් කරන්න ඕනේ කියලා“ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේ මදක් නොසන්සුන්වය.
“ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ඉක්මනට හදන්න ඕනේ“ කි රණතුංග ඇමැතිවරයා වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් කෙබදු අදහස් දරන්නේ දැයි විමසීය.
අවසානයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන මංගල උත්සව හා සංගීත සංදර්ශන සදහා සහභාගිවීමට නම් පූර්ණ කොවිඩ් එන්නත්කරණ කාඩ් පත අනිවාර්යය කිරීමට තීරණය විය. එමෙන්ම පාසල් මට්ටමෙන් දෙමව්පියන් කැදවා එන්නත්කරණය සම්බන්ධයෙන් පවතින දුර්මත පසෙක දමා දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙමින් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. ඒ අනුව පාසල් මට්ටමෙන් දෙමව්පියන් සමග සාකච්ඡා කර පාසල් එන්නත්කරණ වැඩසටහන ක්‍රමාණුකූලව සිදුකිරීමට තීරණය විය.
මේ රැස්වීම අතරතුර ඇමැතිවරයාට දුරකතන ඇමතුමක් ආවේය. ඒ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙනි.
“ඇමැතිතුමා, අද කොවිඩ් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැදවලා තියෙනවා“
“ මම මේ දැනුත් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ ඇමතිතුමා“
“ඒක හොදයි. ඔය පැත්තේ විස්තරත් අරගෙන හවස දෙකට අමාත්‍යංශයේ තියෙන රැස්වීමට එන්න එහෙනම් “ කෙහෙළිය ඇමතිවරයා කීවේය.
“ හරි ඇමැතිතුමා. මම එන්නම්.“ කී ඇමැතිවරුන්ගේ දුරකතන ඇමතුම නිමා විය.
ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා එහි යනවිටත් රැස්විම ආරම්භ කර තිබිණි. මේ නිසා රැස්වීමට සහභාගි නොවී කෙහෙළිය ඇමැතිවරයාගේ නිල කාමරයේ රැදී සිටින්නට ඇමැතිවරයා තීරණය කළේය.  නමුත් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැමිණ සිටින බව දැනගත් විගසට කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා රැස්වීමට සහභාගි වන ලෙස පණිවිඩයක් එව්වේය. ඒ අනුව රණතුංග ඇමැතිවරයා එහි යන විටත් රටේ වත්මන් කොවිඩ් තත්ත්වය ආදී තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණී.
“ බූස්ටර් එන්නත සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රචාර නතර කරන්න නම් සත්‍ය හෙළි දරව් වෙන්න ඕනේ. මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න අපිට මාධ්‍යයෙන් උදව් අවශ්‍ය වෙනවා.“ නේද ඇමැතිතුමා යි රණතුංග ඇමැතිවරයා කීවේය.
“ඔව්.ඔව් අපි ජන ජිවිත ආරක්ෂා කිරීමටයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ“ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා ද කීවේය.
බුස්ටර් එන්නත ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමටත්, එන්නත්කරණය සම්බන්ධයෙන් පවතින දුර්මත පිළිබද නිසි දැනුවත්කිරීම් කිරීටත් රජයට සහාය ලබා දෙන බව එහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සඳහන් කළේය.