මහවැලි කලාප ජනපදිකයින් ගේ, ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක්

0

මහවැලි කලාප ජනපදිකයින් ගේ, ජීවනෝපාය සංවර්ධනය  කිරීම සඳහා  පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර  ඇතිබව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා අවධාරණය කරයි.

කීර්ති කොටගම මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන  මහවැලි කලාප දහය සංවර්ධනය කිරීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බවත්, එම  වැය කරන මුදල  ට සාපේක්ෂව ජනතාව ගේ ජීවින තත්ත්වය ද , ඉහළ තලයකට ගෙන ආයුතු බවයි.

නිවැරැදි දැක්මක් සහ සැලැස්මක් යටතේ කටයුතු කරන්නේ නම්, මහවැලි ගොවිපළ ලාභ උපයන තත්ත්වය ට පත්කිරීම අපහසු කාර්යක් නොවන බව පෙන්වා දෙන  කීර්ති බී කොටගම මහතා ,චමල් රාජපක්ෂ සිරිපාල ගමලත් යන අමාත්‍යවරුන් ගේ  මඟපෙන්වීම මත  මහවැලිය අලුත්  වැඩපිළිවෙළක් යටතේ පුළුල් සංවර්ධනයක් සඳහා  ප්‍රවේශ  වී ඇතැයිද සඳහන් කරයි.

හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා ඇඹිලිපිටිය  ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ  ශාලාවේ පැවති වලව විශේෂ මහවැලි බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්  මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.

මෙම සාකච්ඡාවේදී  පසුගිය 2021 වසරේ මහවැලි වලව කලාපයේ  සංවර්ධන කටයුතු වල  ප්‍රගතිය සහ  එම කලාපයේ 2022 වසරේ සංවර්ධන  සැලසුම් පිළිබඳව  අවධානය  යොමුකෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම මහතා සඳහන් කළේ, මහවැලි කලාප වල සිටින   සමෘද්ධි  ලාභීන්  ස්වකීය ලෙස  නැගී සිටින තුරු  ඔව්න්ගේ  ජීවනෝපාය යටිතල  පහසුකම් සංවර්ධනය  කිරීම මහවැලි අධිකාරියේ වගකීමක් වන  බවයි.

වාර්ෂිකව  සමෘද්ධි  ලාභීන්  ගේ සංඛ්‍යාව වර්ධනය වන්නේ නම් එය  ගැටලුවක් බවත්, මහවැලි අධිකාරියේ ඉලක්කය විය යුත්තේ  වාර්ෂිකව සමෘද්ධි  ලාභීන් ගේ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ඔවුන් ගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන  වැඩසටහන් සම්බන්ධයෙන්  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම බවයි.
මහවැලි කලාප දහය  ට අයත් බලප්‍රදේශයේ සමෘද්ධි  ලාභීන් ගේ  ප්‍රතිශතය  සියයට විසි පහක් (25)  පමණ වන බවත් ඒ අනුව  දුප්පත්කම තුරන් කිරීමේ  දී  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ට අත්හල නොහැකි  සුවිශේෂී වගකීමක් පැවරී ඇති බවත්  කොටගම මහතා පෙන්වා දුන්නේ ය.

මත්තල  ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායට සමීපව පවතින මහවැලි වලව විශේෂ බලප්‍රදේශය නිෂ්පාදන  අපනයනය ඉලක්ක කරගනිමින් සංවර්ධනය කිරීම ඉතා වැදගත් බවද කීර්ති කොටගම මහතා කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ  කීර්ති බී කොටගම මහතා.
”  මහවැලි ව්‍යාපාරය නඩත්තු කිරීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. ඒ මුදල් මේ රටේ ජනතාව ගේ බදු මුදල්. මහවැලි ය විවිධ අංශ යටතේ සංවර්ධනය කිරීම  තුළින්  විශාල ප්‍රගතියක් ලබා ගත හැකියි.

පාඩුවට තිබුණ මහවැලි ගොවිපළ  17 න් නවයක්  මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා ගේ  මඟ පෙන්වීම නිසා 2021 වසරේ දී ලාභ උපයන තත්ත්වය ට පත්කිරීම ට  හැකි වුනා.
එපමණක්ද නොව පළමු වරට  මහවැලි ගොවිපළ  බීජ වී  නිෂ්පාදනයෙන් විශාල ආදායමක් උපයා ගෙන තිබෙනවා.
අපේ රටට අවශ්‍ය  දියර කිරි ටික, පලතුරු, එළවළු, බිත්තර  මහවැලි ගොවිබිම් වලින්   නිෂ්පාදනය  කළ හැකිව තිබෙනවා. 2021 වසරේ  දියර කිරි ලීටර් මිලියන 40 ක් නිෂ්පාදනය කිරීමට හැකි වුනා.  බිත්තර මිලියන 60 ක් නිෂ්පාදනය කර තිබෙනවා. 2022 වසර ඇතුළත  කිරි ලීටර් මිලියන 60 ක් සහ  බිත්තර මිලියන 150 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා ” යැයිද  මහවැලි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා  සඳහන් කළේ ය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව  සිරිපාල ගමලත් මහතා ඇතුළු පිරිස කලාපයේ  ගොවිපළ සංවර්ධනය සම්බන්ධයෙන් සොයා බැලීමේ නිරීක්ෂණ සංචාරයක ද නිරත විය.

තවද  බෝග වගාව සඳහා අවශ්‍ය බීජ   පැල තවාන් සංවර්ධනය කිරීමට ත් එහිදී   ගොවීන් ට, පූර්ණ මඟපෙන්වීමක් ලබා දී මත්, ගෘහ ඒකක  තුළ  වවගාව හෙවත් පොලිටනල් වගාව  ගොවීන් අතරේ  ප්‍රචලිත කිරීම ට ත් පියවර ගන්නා බව  කොටගම මහතා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා , එම අමාත්‍යාංශයේ ලේකම්    චන්ද්‍රා හේරත් මහත්මිය, මහවැලි ජීවනෝපාය සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙවිල් රාජපක්ෂ මහතා, මහවැලි තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා, වලව විශේෂ බලප්‍රදේශයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර  ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.