Political fact / දේශපාලන කතාබහ

0
ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවත මෙරටට පැමිණීයේ ඉකුත් ඉරිදායි. මෙරටට පැමිණි ඇමතිවරයාගේ රාජකාරි ඇරඹුවේ සඳුදා උදේ පාන්දර මිනුවන්ගොඩ කලාපයේ විදුහල්පතිවරුන් සමග zoom තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකිනි. එහිදී ගුරුවරුන්ගේ වැටුප් වැඩි විම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා විය.
“මම ඩුබායි යන්න කළින් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට කතා කරලා කිව්වා ජනවාරි මාසයේ ඉදන් වැටුප් ප්‍රශ්න විසදනවා. ඒකට අවශ්‍ය කරන සියලු තොරතුරු සූදානම් කරලා තබා ගන්න කියලා.ඒ තොරතුරු ලෑස්තියි නම් ජනවාරි මාසයේ ගුරුවරුන්ගේ නියමිත වැටුප් ලැබෙනවා. ඒ තොරතුරු තවම දීලා නැත්නම් හැකි ඉක්මනින් තොරතුරු යවන්න. “ ප්‍රසන්න  රණතුංග ඇමැතිවරයා කීවේය.
“ඔව් ඇමැතිතුමා රට යන්න කළින් මට ඒ උපදෙස් ලබා දුන්නා. ඒ වගේම අදාල තොරතුරු ඔක්කොම මේ වෙනකොටත් අපි ලබා දිලා තියෙන්නේ.“ ඊට සහභාගිව සිටි කළාප අධ්‍යාපන අධ්‍යාක්ෂකවරයා ද පෙරළා පිළිතුරු දුන්නේය.
“ මේ වැටුප් වැඩිවිම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන්න පොරොන්දුවක් ඉටු කිරීමක්. අපිට පහුගිය කොවිඩ් කාලසීමාවේ ඊට අවශ්‍ය මුදල් සොයා ගැනිම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ. 2020 විසදන්න සැලසුම් කළ ප්‍රශ්නයක් මේ තරම් කාලයක් ප්‍රමාද වුනේ ඒ නිසයි. කොවිඩ් වසංගතයත් එක්ක කරගන්න බැරි වුනා. කවුරු හරි හිතනවා නම් ගුරුවරු පාරට බැහැලා පාගමන් ගිහින් දිනාගත්ත දෙයක් කියලා එහෙම දෙයක් නම් නැහැ. ඇත්තටම මේකේ ගෞරවය යන්නේ ආණ්ඩුවට. උද්ඝෝෂණ කිරීමේ අයිතිය කාටත් තියෙනවා. ලෝකෙටම අමාරු තත්ත්වයක් තියෙන වෙලාවක අපේ රටේ බැරෑරුම් අර්බුදයක් තියෙන වෙලාවක තමයි මේක දෙන්නේ. වෘත්තීය සමිති වලට ඕනේ වුනේ මේක විසදන ක්‍රියාවලිය කඩාකප්පල් කරන්නයි. මමත් සාමාජිකයෙක් වෙලා අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්විමකින් තමයි මේ තීරණ ගත්තේ. “ ගුරු වැටුප් විෂමතාවය විසදීම සම්බන්ධයෙන් දීර්ඝ අදහස් දැක්වීමක් කරන අතරේ ඇමැතිවරයා පැවසීය.
“ වසර 24ක් තිස්සේ තිබුණු මේ ප්‍රශ්නය විසදා දීම නම් ගුරුවරුන් වෙනුවෙන් කළ ලොකු සේවයක්“ විදුහල්පතිවරයෙක් කීවේය.
“ ඒ විතරක් නෙවෙයි. මුදල් ඇමැතිතුමා සහන පැකේජය මගින් ලබා දෙන්න පොරොන්දු වුනු රුපියල් 5000 දීමනාවත් මේ මාසයේ ඉදලා ගුරුවරුන්ගේ වැටුපට එකතු වෙනවා.“ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කාටත් අමතකව ගිය තවත් කරුණක් සිහිපත් කළේය.
එදින සවස බස්නාහිර පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි පැවැත්විණී. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැති මෙම සාකච්ඡාවේදී වරාය නැගෙනහිර පර්යන්තයේ වැඩ ඇරඹීම, වරාය බටහිර පර්යන්තයේ වැඩ ඇරඹීම, මීරිගම සිට අධීවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීම මෙන්ම බස්නාහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද සාකච්ඡා විණි.
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේඡනය කිරීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළට මෙහිදි මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.
“ඒ අය ආණ්ඩුව නියෝජනය කරන්නේ නැහැ වගෙයි කතා කරන්නේ“ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේය.
“ ඒක නම් ඇත්ත, මම නම් මේ දීගෙට මුල ඉදලාම විරුද්ධයි. හිටපු ජනාධිපතිතුමා ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. මම යන්නේ නැහැ කියලා ඊළග දවසේ හංසයාගෙන් ඡන්දේ ඉල්ලන්න ගියා. ඊට පස්සේ මහ මැතිවරණයේදී මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වයෙන් ඡන්ද ටික ලැබෙන තැනටම මැතිවරණ ව්‍යාපාරය ගෙනත් දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා. අන්තිම මොහොතේ පක්ෂ ලේකම්වරු කනපිට ගැහුවා.ඊට පස්සෙ එජාප දීගය කැඩී ගෙන යනකොට තනියම ඡන්දයට ගියොත් ඇපත් නැහැ කියලා දන්න නිසා පොහොට්ටුවට හේත්තු වෙලා යන්තම් මන්ත්‍රීධූර ටිකක් දිනාගත්තා. දැන් කියනවා ඒ අයලු මැතිවරණය දිනෙව්වේ.“ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා හැමදාමත් දක්වන විරෝධය එහිදී ද පෙන්විය.
“ අපේ ඇමැතිතුමා කියන දේ හරියටම හරි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගත්තේ එක මන්ත්‍රීධූරයයි. ඒකත් දිනාගන්න පුලුවන් වුනේ පොහොට්ටුව එක්ක එකතු වුන නිසා. තනියම ඉල්ලුවා නම් ඒ ආසනයත් ලැබෙන්නේ නැහැ. “ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා නැවතත් කීවේය.
“ ඔය කියන කාරණයේ ඇත්තක් තියෙනවා. පහුගිය කාලයේ සිදුවීම් දිහා බැලුවාම ඒ අය සාමුහික වගකීම කඩකරන බවක් තමයි අපිටත් පේන්නේ“ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේය.
“ විරුද්ධ පක්ෂයේ දෙශපාලන පක්ෂ ඉන්නවා. හොදටම දන්නවා තමන්ට කොවිඩ් පාලනය කර ගන්න බැහැ කියලත් දන්නවා. විදේශ විනිමය ප්‍රශ්නයට හරි ආර්ථික ප්‍රශ්නයට හරි තමන්ට දෙන්න තරම් විසදුමක් නැහැ කියලත් දන්නවා. තමන්ට දැක්මක් නැති වුනත් වැඩපිළීවෙලක් නැති වුනත් ඒ අය උත්සහ කරන්නේ කොහොම හරි බලය ගන්න. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවතත් කීවේය.
“ ඇමතිතුමා කියන කතාව ඇත්ත. ඒ අයට ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් දීලා තියෙන කොට ඒ අය සාමූහික වගකීම ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා. ඒ වුනාට හොද ප්‍රතිඵල ලැබෙනවා නම් විතරයි ඒ ගොල්ලො වගකීම් දරන්නේ. නරක ප්‍රතිඵල එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ අතර කතාවට ලක්වෙන දේවල් සම්බන්ධයෙන් ඒ අය හිමින් සැරේ ලිස්සලා ගිහින් ඇග බේරා ගන්නවා.“ නාමල් ඇමැතිවරයා ද පිළීතුරු දුන්නේය.
“ඒ සම්බන්ධයෙන් ඒ අයම ඉක්මනට තීරණයක් ගන්න ඕනේ. ජනතාව ඇත්ත දන්නවා. කොවිඩ් පාලනය කරගෙන සෞභාග්‍යෙය් දැක්ම වැඩපිළීවෙල ක්‍රියාත්මක කරන්න ගත්තාම ජනතාව ඇත්ත තේරුම් ගන්නවා. බලය ලබා ගන්න බොරු කියන බොරු කරන අයට ජනතාවම පාඩමක් උගන්වයි“ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා නැවතත් කීවේය.
විපක්ෂ නායක සජිත් උතුරේදී තැබූ වාර්තාව !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දෙසතියකට ආසන්න කාලයක් මුළුල්ලේ ගතකළේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක ය.
“සමගි ජන බලවේගයේ හුස්මක්” සහ “සක්වල” යන සමාජ සත්කාරක වැඩසටහන් ද රැගෙන විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ අතර ඒ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.
සක්වල වැඩසටහන හරහා පාසල් කිහිපයකටම  සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය නවීන පරිගණක සහ ඩිජිටල් පරිගණක පුවරු ලබාදීමට සජිත් කටයුතු කළේය.
සමගි ජන බලවේගයේ හුස්මක් වැඩසටහන හරහා රෝහල් කිහිපයකටම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කළ සජිත් උතුරු නැගෙනහිර පලාත් දෙක ආවරණය වන ලෙස විවිධ වැඩසටහන්වලට එක්විය.
සංචාරය පුරාම සජිත්ට දැක ගන්නට හැකි වූයේ ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන විවිධ මුහුණ දෙන විවිධාකාර ගැටලු පිළිබඳව ය.
සජිත් සිය උතුරු නැගෙනහිර සංචාරය ආරම්භ කළේ
 ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට  පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කරමිනි.එතැන් සිට ඔහු පසුගිය දොළොස් වන දා තෙක් උතුරේ සංචාරය නිරත විය.
එදා මෙදාතුර විපක්ෂ නායකයෙකු වැඩිම කාලයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ පළමු වතාව මෙය වන අතර ප්‍රදේශයේ ජනතාවගෙන් විපක්ෂ නායකවරයාට ලැබුණේ විශාල දිරිගන්වන සුළු ප්‍රතිචාරයකි.
” මීට කලින් එක එක නායකයෝ එනවා,  පොරොන්දු වෙනවා, යනවා.සමහර නායකයෝ අපි ඒ අයට අයිති නෑ වගේ සලකලා අපිව පැත්තකට කරලා තියෙනවා.බලය නැතිව තියෙද්දිත් ඔබතුමා මේ විදිහට ඇවිල්ලා පුළුවන් විදිහට යමක් කරන එක ගැන අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා “
එම විදුහලේ දෙමව්පියන් පිරිසක් සජිත්ට කීවේය.
“අපි මේ ජීවත් වෙච්චි කාලේ කිසි දවසක විපක්ෂ නායකවරයෙක් මේ විදිහට පාසැල් වලටවත් හොස්පිටල් වලටවත් උදව් කරනවා අපි දැකලා නෑ.”
බොහෝ දෙනා කීවේ එවැනි කතා ය.
“දේශපාලකයෝ දේශපාලනය කරන බව ඇත්ත.හැබැයි අපි ඊට වඩා වෙනස් වෙන්නේ දේශපාලනයට වඩා අපි කරන්නේ දේශ සේවය.මිනිස්සුන්ට අපි පුළුවන් විදිහට යමක් කරන්න ඕන.අපේ වැඩපිළිවෙලේ අරමුණ තමයි රටට අගයක් එකතු කිරීම”
සජිත් උත්තර දුන්නේය.
සිය සංචාරයේදී එම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිත නැංවීම උදෙසාවන ස්වකීය ප්‍රතිපත්තිය ද පැහැදිලි කිරීමට විපක්ෂ නායකතුමා අමතක නොකළේය.
විශේෂයෙන්ම ප්‍රදේශයේ සර්වාගමික ස්ථානවලට ගොස් ආශිර්වාද ලබා ගැනීමට ද අමතක නොකළ විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර සමගි ජන බලවේගය සංවිධායකවරුන් විසින් සංවිධානය කරනු ලැබූ ජනහමු කිහිපයකටම ද එක් විය.
මාධ්‍ය වාරණ ගැන සජිත්ගේ මතය!
උතුරු නැගෙනහිර මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමු කිහිපයකටම සජිත් එක්විය.
“මාධ්‍ය වාරණය සම්බන්ධව ඔබතුමා ගේ අදහස මොකක්ද?”
උතුරේ මාධ්‍යවේදියෙක් සජිත්ගෙන් ඇසුවේය.
“මොකටද වාරණ.කිසිම මාධ්‍යයකට කිසිම විදිහකට  වාරණ නොදැමිය යුතුයි  කියන ප්‍රතිපත්තියේ තමයි මම ඉන්නේ.වාරණ දාලා,බැරියර් දාලා මාධ්‍යයේ කට වහන්න කාටවත් අයිතියක් නෑ”
සජිත් උත්තර දුන්නේය.
“ඔබතුමාගේ ආණ්ඩුවක් යටතේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍යයට වාරණ නොදමන බවට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?”
තවත් මාධ්‍යවේදීයෙක් ඇසුවේය.
“මගේ වචන විශ්වාස කරන්න.ඒ වගේම මගේ ඉතිහාසය පරික්ෂා කරන්න.මානව නිදහස මානව අයිතිවාසිකම් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය මගේ ජීවිතයේ තේමා පාඨ.සමහරු යෝජනා කරනවා මාධ්‍යයට ආචාරධර්ම තියෙන්න ඕනි කියලා.එක අතකට මං විශ්වාස කරනවා,අාචාරධර්ම මාධ්‍ය විසින්ම සකස් කර ගත යුතුයි කියලා.අනෙක් පැත්තෙන් වාරණය ගැන කතා කළොත් මගේ අදහස වෙන්නේ කිසිවෙක් මාධ්‍යයට වාරණ නොදැමිය යුතුයි.ඒ වගේම මාධ්‍ය ස්වයංවාරණයක යෙදුනම ඇති”
සජිත් උත්තර දුන්නේය.
ණය වාරිකය ගෙවීම ගැන සජබ තීන්දුව!
මේ අතර ලබන 18 වැනිදාට ආණ්ඩුවට විශාල ණය වාරිකයක් ගෙවීමට සිදුව තිබේ.මූල්‍ය අතින් බරපතල අගාධයකට වැටී තිබෙන තත්වයක් තුළ සමගි ජන බලවේගය ප්‍රධානීන් මේ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කළේය.
“මහලොකු ප්‍රගතිශීලි ආණ්ඩුව.මේ වෙලාවේ රට ගන්න දෙයක් නැතුව වැටිල තියෙන්නෙ.හැබැයි රෑ දවල් මහන්සි වෙන්නේ සුද්දන්ට ණය ටික ගෙවලා දාන්න”.
එරාන් වික්‍රමරත්න එහෙම කීවේ ය.
“ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙවන්න ආණ්ඩුව දත කනවා.කොළ සංචිතවල රං සංචිත භාගයකට ආසන්න ඉවරයි.මේ ආණ්ඩුව මරණ තුනක් තියාගෙන පැණි කනවා”
හර්ෂ කීවේය.
“ළගදීම ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගෙවන්න තියෙනවා. මොනව කරන්නටත් පෙර ජනතාව ජීවත් කරන්නට ඕනි .ජනතාවට අවශ්‍ය ආහාර ටික,ඖෂධ ටික, ඉන්ධන ටික  ලබාදීම මේ ආණ්ඩුවේ වගකීම. ඉන්ධන නැතිවුනොත් රටේ කර්මාන්ත පද්ධතියම, ජන සමාජයම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුවට සැලැස්මක් නැද්ද මේ ප්‍රශ්නය වලට විසඳුම් ලබා දෙන්න. ආණ්ඩුව දක්ෂ රටේ ආර්ථික ප්‍රශ්න,ඩොලර් ප්‍රශ්න  විසඳන්න නෙමෙයි. ආණ්ඩුව කරන්නේ ජාතීන් ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරන එක”
සජිත් කීවේය. ඒ විතරක් නෙවෙයි මුලතිව් හි පැවති රැළියකදීත් සජිත් ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය.
යාපනයේ සමගි බුද්ධි මණ්ඩපයට විශාල පිරිසක් !
සමගි බුද්ධි මණ්ඩපයේ විසින් සංවිධානය කරනු ලැබූ වෘත්තිකයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි වූ විශේෂ වැඩසටහනකට එක්වීම ද සජිත් අමතක නොකළේය.
එම වැඩසටහන මුලින් සංවිධානය කර තිබුණේ 100ගේ සහභාගිත්වය අපේක්ෂා කරමිනි.නමුත් අපේක්ෂා නොකළ පරිදි 200කට ආසන්න පිරිසක් සහභාගි වීම හේතුවෙන් සංවිධායකයින්ට  සිදුවුණේ පිටත තිබූ අසුන් පවා ශාලාව තුළට රැගෙනවිත් සහභාගිකයන්ට ඉඩකඩ සලසා දීමට ය.
සජිත් ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය දොළොස් වැනිදාටය.ඔහු ඒ දිනය පුරාම විවිධ සමාජ සත්කාර වැඩසටහන්වල යෙදුණේය.
සජිත් උපන් දිනය සැමරූ හැටි!
පසුගිය 12 වැනිදාට යෙදී තිබූ සිය උපන් දිනය සජිත් සමරුවේ සමාජ සත්කාරක වැඩසටහන් රැසක්ම දියත් කරමින් ය.උදෑසන ම ඔහු සර්ව ආගමික නායකයින් හමු වූ අතර ඉන් අනතුරුව කොණ්ඩාවිල් රාම ක්‍රිෂ්ණ විද්‍යාලයට සක්වල රැගෙන ගියේය .ඉන් අනතුරුව ඔහු  චාවකච්චේරි පාසලක ළමුන් පන්සියයකට සපත්තු ලබා දීමේ වැඩසටහනකට ද එක් විය.