තරුණ ප්‍රජාවේ අභිලාෂයන් මුදුන්පත් කරමින් නව වසරකට පා තැබුවා

0
තරුණ ප්‍රජාවේ අභිලාෂයන් මුදුන්පත් කිරීමට නව තාක්ෂණය සමග මුසු වූ සැළසුම්, ප්‍රතිපත්ති සහ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවමින් නව වසරකට පා තැබුවා.
– අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
2022 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ  සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (03) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී මේ බව පැවසීය.
එම අවස්ථාවේදී  අමාත්‍යවරයා මෙසේ ද කීය.
2022 වර්ෂයේ රාජකාරි ආරම්භ කරන පළමු දින ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා’යි මා ප්‍රාර්ථනා කරනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ඉතාමත් අභියෝගාත්මක වසරක් පසු කර තරුණයන්ගේ අභිලාෂයන් මුදුන්පත් කරන්න නව තාක්ෂණය සමග මුසු වූ  සැළසුම්, ප්‍රතිපත්ති සහ ක්‍රියාවට නංවමින් අපි නව වසරකට පා තැබුවා.
අපි කිසිවෙක් ඉතිහාසයේ මුහුණ නොදුන් ගෝලීය වසංගතයක් සමග පසුගිය වසර පුරාවට වැඩ කටයුතු සිදු කිරීමට සැමට සිදු වූණා. සුපුරුදු ක්‍රමවේදයට අමාත්‍යාංශයට නොපැමිණියත් තාක්ෂණය හරහා ඔබේ රාජකාරි කටයුතු සමග සම්බන්ධ වුවා.
අපි අපේක්ෂා කළ ඉලක්කයන් වෙත ඉතාමත් අසීරුවෙන් හෝ ළඟාවීමට අපිට හැකියාව ලැබුණා. ක්‍රීඩා අංශයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන්න පටන් ගත්තා. අපේ රටේ අලුතින් ලෝක ශූරයින් බිහිවුණා. ඔලිම්පික් උළෙල තුළ රන් පදක්කම් ජයග්‍රහණය කරන තැනට ක්‍රීඩාව ඔසවා තබන්නට අපිට හැකි වූණා.
වසර 21 කට පසු නැවත වතාවක් තුරුණු ශක්ති වැඩසටහන ආරම්භ කරන්න හැකියාව ලැබුණා. ගම් මට්ටමින් තරුණයින් රැකියාගත කිරිමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කර තිබෙනවා. ගෝලීය වසංගතය තුළ අපේක්ෂා කළ ඉලක්කයන් වෙත යාමට නොහැකි වුවත් ලැබුවා වූ නව වසර තුළ අපේ ඉලක්කයන් වෙත යාමට හැකියාව ලැබෙයි කියා අපි විස්වාශ කරනවා.
පසුගිය වසර තුළ මෙම අමාත්‍යාංශයේ නිළධාරීන් සුවශේෂී කැපකිරීම් කරමින් රාජකාරි කටයුතු සිදු කළා. මා දන්නවා ඇතැම් කාලවල වැඩ අධිකවීමෙන් රාත්‍රී කාලවල පවා මගේ අමාත්‍යාංශය රාජකාරි කටයුතු වල නියැලුණා. පාරම්පරිකව කරගෙන ආ ක්‍රමවේදයන්ගේ වෙනසත් සමග ක්‍රීඩාවේ නව ප්‍රවේශයක් ලැබූ නිසා ඒ වෙනසට හුරුවෙමින් නව ක්‍රමවේදයට අනුගතවෙමින් ඔබ කටයුතු කළා. එහි ප්‍රතිඵල තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කරන නිළධාරියෙක් ලෙස ගමට ගිය පසු ඔබට ආඩම්බර විය හැකියි, සතුටු විය හැකි යැයි මා විස්වාශ කරනවා. එයට හේතුව අපේ අමාත්‍යාංශය තුළ මේ සියලුදෙනාගේ කැපකිරීම්වල ප්‍රතිඵල අද දක්නට තිබෙනවා. අඩු වැඩි වීම සාමාන්‍ය ස්වභාවයක්. නමුත් අපි සියලුදෙනාටම සතුටු විය හැකි ප්‍රතිඵල තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරයා ලෙස ක්‍රීඩා අංශයෙන් මේ රට ජයග්‍රහණ කරා රැගෙන යාමත්, තරුණ තරුණියන්ගේ අභිලාෂ මුදුන්පත් කරවන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නත්, ඔවුන්ගේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමේ වගකීමත් මට පැවරී තිබෙනවා. මෙම වසරේ එම ඉලක්ක ජයගත හැකි යැයි මම විස්වාශ කරනවා.
මේ සදහා රාජකාරී ඉටු කරන නිළධාරීන්ගේ සහ අප අමාත්‍යාංශය සමග සම්බන්ධ වන සියලුදෙනාගේ සේවාවන් පහසුවෙන් ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීමේ වගකීම ද මා හට පැවරී තිබෙනවා.
ඒ සදහා අපිට නීතිමය වශයෙන් වෙනස්කම් කිරීමට සිදු වෙිවි, ඒ සදහා අපේ අණ පනත් වෙනස් කරන්න සිදු වේවි. ඒ සදහා අප සූදානම්. අපි පවත්වාගෙන ආ රෙගුලාසි වෙනස් කරන්න සිදු වේවි. ඒ රෙගුලාසි වෙනස් කරන්න අපි දැනටමත් කටයුතු සිදු කරගෙන යනවා.
ලිපිගොනු මේස උඩ තබාගෙන ඔලුවට අත තියාගෙන මේ ෆයිල්වල වැඩ අවසන් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා වෙනුවට නව තාක්ෂණය සමග ඉතාමත් කඩිනමින් ඔබේ වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරය  නිර්මාණය කරදෙනවා.
ජාතික ප්‍රතිපත්තියක් ලෙස නූතන තාක්ෂණයත් සමග අපි ඉදිරියට යා යුතුයි. නූතන තාක්ෂණයත් සමග රට ඉදිරියට ගෙන යාමේ වගකීම අමාත්‍යවරයා විදියට මට පැවරෙන බැවින් එය ක්‍රියාත්මක කිරීමේ වගකීම අප අමාත්‍යාංශයට තිබෙනවා. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව ඇතුළත අප අමාත්‍යාංශය සමස්ත ඩිජිටල්කරණය සදහා පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ කරනවා.
මෙය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන නව රෙගුලාසි හදුන්වා දෙනවා. මේ වන විට එකම ෆයිල් එක ස්ථාන 4 කට යා යුතු වුවත් නව ක්‍රමවේදය ඔස්සේ එක තැනකින් ෆයිල් එකේ කටයුතු නිම කිරීමට අවශ්‍ය කාර්‍යක්ෂම හා වඩා විස්වාශනීය ක්‍රමවේදයක් හදුන්වාදෙනවා.
කඩදාසි භාවිතයෙන් තොර අමාත්‍යාංශයක් බවට අපි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පරිවර්තනය කරනවා. මේ වසර තුළ 50% ක් මේ අමාත්‍යාංශය තුළ භාවිතා කරන කඩදාසි ප්‍රමාණය අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වැඩියෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන තරුණ තරුණියන් නියෝජනය කරන අප අමාත්‍යාංශය කඩිනමින්  ඩිජිටල්කරණය විය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.
මේ තුළ ඔබේ කාර්‍යයන් අවම වීම හා ඔබේ සේවය ලබාගන්න පැමිණෙන තරුණ තරුණියන්ගේ සුබ සිද්ධිය සහ සුබ සාධනය පිළිබදව වැඩි අවධානය යොමු කිරීමට ඔබට හැකිවෙනවා. තවදුරටත් තරුණයින් පාස්පෝට් එක ගන්න, උප්පැන්න හා මරණ සහතික ගන්න, පොලිස් වාර්තාවක් ගන්න පෝලිම්වල ඉන්න අවශ්‍ය නැහැ. ඒ තත්ත්වයට අපි මේ රට පරිවර්තනය කරනවා.
අද ලෝකය වෙනස් වෙමින් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල  ඩිජිටල් තාක්ෂණය පිළිබදව අමාත්‍යවරයෙකුත් නැහැ. ඒ රටවල එහෙම අමාත්‍යවරයෙක් හිටියේ 2010 ට පෙර. දැන් ඒ රටවල ඩිජිටල් ආර්ථිකය පිළිබද අමාත්‍යවරු ඉන්නේ. වාසනාවට ද අවාසනාවට ද දන්නේ නැහැ අපේ රටේ තාම ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයෙක් ඉන්නවා. අපේ සමහර ගම්වල සිග්නල් පහසුකම් ලබාගන්න ගස් උඩ නගින්න වෙලා. කාගෙද වැරැද්ද, කාගේද වගකීම කියන කාරණය සෙවීම නොවෙයි ඉදිරි වසර කිහිපය තුළ එය නිවැරදි කිරීමයි අපේ ඉලක්කය.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ එක්තරා ගිණුම් සමාගමක 20,000 ක කාර්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් නිවසේ සිටයි රැකියාව කරන්නේ. අපි රටක් ලෙස එවැනි පරිවර්තනවලට යා යුතුයි. තාක්ෂණය සමග කටයුතු කරන තරුණ පිරිස ගැවසෙන්නේ මෙම අමාත්‍යාංශය තුළ නිසා එය ආරම්භ කිරීමට පහසුම තැන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යි.
අභියෝග අවසන් නැහැ. අභියෝග අලුත් වෙනවා. කොවිඩ් වසංගතයත් අවසන් නැහැ. එයත් අලුත් වෙනවා. අලුතින් ප්‍රභේද එනවා. මෙවැනි අභියෝග සමග අපිට ලැබී තිබෙන ඉලක්ක ජයගන්න අපි කටයුතු කරමු.
අමාත්‍යවරයා විදියට මට යම් දීමනාවක් ලැබෙනවා නම්,  රාජ්‍ය සේවකයෙක් විදියට ඔබට වැටුපක් ලැබෙනවා නම් මතක තබා ගත යුතුයි ඒ අපේ ගම්වල නැන්දා මාමා හේනට, කුඹුරට ගිහින්, ධීවරයින් මුහුදු ගිහින් හම්බ කර ආණ්ඩුවට ගෙවන බදු වලිනුයි රුපියල් බිලියන 86 ක් ඔබ වැනි මිලියන 1.7 කට බෙදෙන්නේ. එය අපි අමතක නොකළ යුතුයි.
තිබෙන අමාත්‍යාංශ අතරින් ඵලදායීතාව වැඩිම අමාත්‍යාංශය ඔබේ අමාත්‍යාංශය යැයි ඔබේ ගමේ අය ඔබට කියන තැනට ඔබට මෙය පරිවර්තනය කරන්න පුලුවන් නම් 2022 වසරේ ඔබට ලබා ගත හැකි සාර්ථකත්වය එයයි.
මීට සමගාමීව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ  සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ 2022 නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ මහතා ඇතුඵ ලේකම්වරුන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වූහ.