 දැන් මිනිස්සුන්ට කොවිඩ් එකෙන් වැඩක් නෑ. දැන් තියෙන්නේ ජිවිකාව ගැන ප්‍රශ්න… – ඇමති ප්‍රසන්න රණතුංග ක

0
  • කොවිඩ් පාලනය කළ ආණ්ඩුව ආර්ථිකය ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළා…
  • ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරිමට ආණ්ඩුව සුදානම් විට විපක්ෂයේ උසි ගැන්වීම් මත ජනතාවම ඊට එරෙහි වෙනවා…
  • දැන් මිනිස්සුන්ට කොවිඩ් එකෙන් වැඩක් නෑ. දැන් තියෙන්නේ ජිවිකාව ගැන ප්‍රශ්න…
  • ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

කොවිඩ් පාලනය කළ ආණ්ඩුව ආර්ථිකය ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරිමට ආණ්ඩුව සුදානම් විට විපක්ෂයේ උසි ගැන්වීම් මත ජනතාවම ඊට එරෙහි වන බවයි. කොවිඩ් වලින් ජනතාව බේරාගත් ආණ්ඩුවට ආර්ථිකය ගොඩ ගැනීම ගැටළුවක් නොවන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

2022 අයවැය යෝජනා ක්‍රියාත්හමක කිරිම පිළිබද ව මිනුවන්ගොඩ ග්‍රාමිය කමිටු නියෝජිතයන් දැනුවත් කිරිම සදහා අද (24) උඩුගලම්පළ දි පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා සදහන් කළේය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“2015 දි මෙරටේ ජනතාව ඡන්දය දුන්නේ වෙනසකට. හැබැයි ඒ වෙනස ඇති වුණේ නෑ. ඒ නිසා මේ රටේ ජනතාව තීරණය කළා 2019 දි නැවතත් ඒ වෙනස වෙනස් කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මිනිස්සු ඡන්දය දුන්නේ ඒ සැබෑ වෙනස ඇති කරන්න. දැන් ඒ වෙනස ඇති කරන්න අපි හදනවා. හැබැයි අපේ රටේ ජනතාව ඒ වෙනස ඇති කරන්න සුදානම් ද කියන ගැටළුව අපිට තියෙනවා. අද ආන්ඩුව බැනුම් අහන්නේ ඒ වෙනස කරන්න ගිහින්. පොහොර ප්‍රශ්නය ඒ  වගේ එකක්. වෙසකට කැමති වුණත් වෙනස ඇති කරන්න ගියාම රටේ ජනතාව බයයි. කාබනික පොහොර හදුන්වා දෙන්න හැදුවේ ජනතාව වහ කන එක නතර කරන්න. ජනාධිපතිතුමාගේත්, කෘෂිකර්ම ඇමතිතුමාගේත් පින්තූර පුච්චලා මේවට විසදුම් හොයන්න බෑ.වෙනසක් කරන්න අපේක්ෂා කළා නම් ඒ වෙනස කරන්න ආණ්ඩුවට කාලය දිය යුතුයි.

මෙතෙක් කල් මේ රටේ සැලසුම් හැදුවේ නිලධාරින් කොළඹ සිතල කාමරවල ඉදගෙන. ඒ අය යෝජනාව හදලා, සැලසුම හදලා මුදල් ටික දෙනවා ප්‍රා දේශිය ලේකම් කාර්යාලය හරහා මෙන්න මේක ක්‍රියාත්මක කරන්න කියලා. අපේ ග්‍රාම නිළධාරින් කියන දේ කරනවා. හැබැයි මේ අයවැය ඊට වඩා වෙනස්. මේ අයවැය ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවන්න, දේශීය ආර්ථිකයක් හදන්න, ජනතා අවශ්‍යතාවයන් ඉටු කරන්න ක්‍රියාත්මක වෙන අයවැයක්. ග්‍රාම සේවා වසමකට ලක්ෂ 30 ක් දෙනවා. ප්‍රා දේශිය සභා මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 40 ක් දෙනවා. ඊට පස්සේ පළාත් සභා මන්ත්‍රිවරයෙකුට ලක්ෂ 200 ක් දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 1000 ක් දෙනවා. ප්‍රා දේශිය සභාවට ලක්ෂ 200 ක් දෙනවා. ඉස්සර ආන්ඩු විමධ්‍යගත මුදල් වෙන් කළේ පාක්ෂිකත්වය බලලා. දැන් අපි මුදල් වෙන් කරන්නේ ගමේ අවශ්‍යතාව සලකලා. ග්‍රාමිය කමිටුව හරහා තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ව්‍යවසායකයන් හදුනාගැනීම සිද්ධ වෙන්නේ ග්‍රාමීය කමිටුව හරහා. මට හරි කාටහරි දේශපාලනඥයෙකුට ව්‍යවසායකයෙක් නම් කරන්න බෑ. මේ ග්‍රාමිය කමිටු හැදිල තියෙන්නේ මන්ත්‍රීතුමා සහ ගමේ ඉන්න රාජ්‍ය නිළධාරින් සියලු දෙනාගෙන්. දේශපාලන සම්බන්ධිකරණය අපි කළත් මේ ගම්වල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ, ව්‍යවසායකයන් හදුනා ගන්නේ ග්‍රාමිය කමිටුව හරහායි. අද මේ ග්‍රාමිය කමිටු වලට ලොකු වගකීමක් තියෙනවා. මේක හරියට කළොත් ගමත්, රටත් ගොඩදාන්න පුළුවන්. මේක තමයි අපේ ආණ්ඩුව ආරම්භ කරපු වෙනස. මිට පෙර නිළධාරින් හදපු අයවැය අද ගමේ යොජනා ඇතුලත්වයි හැදෙන්නේ.

මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අපි විපක්ෂයේ ඉන්නකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර පටන් ගත්තා. ඒ ගැන විවේඡන තිබුණා. සමහර වෙලාවට ඒක අපේ මන්ත්‍රිවරු කළේත් නෑ. ඒ වැඩපිළිවෙලේ දිගුවක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.  විපක්ෂයේ ඉන්නකොට අපි ගම සමග පිළිසදර කියාත්මක කලේ ඒකටයි එදා අපේ මන්ත්‍රිවරු විතරක් ක්‍රියාත්මක කරපු ගම සමග පිළිසදර අද රාජ්‍ය යාන්ත්‍රණයම සම්බන්ධ වෙලා කරනවා. අපිට විපක්ෂයේ ඉද්දි රට ගොඩනගන සැලසුමක් තිබුණා. ඒ සැලසුමයි අපි අද ක්‍රියාත්මක කරන්නේ. 2015 මෛත්‍රී රනිල් ආණ්ඩුව බලයට පත්වෙනකොට එහෙම සැලසුමක් තිබුණේ නෑ. දිනයිද කියලා ෂුවර් එකක් තිබුණේත් නෑ. ඒ නිසයි හිටපු ජනාධිපතිතුමා ප්‍රතිඵල එනකොට හැංගිලා හිටියේ. යහපාලන ආණ්ඩුව 17 වතාවක් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වෙලා රට ගොඩනගන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හදනකටෙම තමයි කොවිඩ් වසංගතය ආවේ. ඒ නිසා රටේ ආර්ථික ගැටළු රැසක් මතුවුණා. අද රටට ඩොලර් නෑ. විදේශ රැකියා වලින් රටට ලැබුණු විදේශවිනිමය අහිමි වුණා.  සංචාරක කර්මාන්තය බිංදුවට වැටිලා තිබුණේ. ඇගළුම් කර්මාන්තයක් කඩන් වැටුණා. ඒ නිසා අත්‍යවශ්‍යය භාණ්ඩ ගේන්නවත් රටේ ඩොලර් නෑ. ඒක තමයි අපි මුහුණ දෙන ඇත්ත අභියෝගය. කොවිඩ් නිසා ඉනදියාව, ඉතාලිය වගේ අපේ රටෙත් මිනිස්සු මැරුණ නම් ඔය හැමෝම ඉල්ලන්නේ මිනිස්සු මැරෙන එක නතර කරලා දෙන්න කියලයි. ආණ්ඩුව ඒක පාලනය කරපු නිසයි අද වෙනත් ඉල්ලිම් මුලට ඇවිත් තියෙන්නේ . විපක්ෂය බලාපොරොත්තු වුණා ඉතාලිය, ඉන්දියාව වගේ මිනිස්සු මැරෙයි කියලා. අද ගමට ගියොත් ආන්ඩුවට මිනිස්සු බනිනවා. දැන් මිනිස්සුන්ට කොවිඩ් එකෙන් වැඩක් නෑ. දැන් තියෙන්නේ ජිවිකාව ගැන ප්‍රශ්නයක්. ඒකයි මිනිස්සු ආණ්ඩුවට බණින්නේ.

ජනාධිපතිතුමා රටේ ජීවිත බේර ගත්තා. දැන් අපි මේ කටයුතු කරන්නේ ආර්ථිකය ගොඩ ගන්නයි. කවුරු කොහොම කිවුවත් ආර්ථිකය ගොඩනගන්න නම් දේශිය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. දේශිය නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න ඕනේ. 2022 අයැවැය යෝජනා මගින් ඒ සදහා මුලිකත්වය දී තිබෙනවා. ඒ සදහා දේශපාලන අධිකාරියත්, රාජ්‍ය නිළධාරිනුුත් එක්ව කටයුතු කළ යුතුයි.”