සිරිලක මැති සබයේ ප්‍රථම නියෝජ්‍ය කතානායක වූ ෆොරැස්ටර් ඔබේසේකර

0
(ලක්දිව මැති සබයේ ප්‍රථම නියෝජ්‍ය කතානායකවරයා වූ ෆොරැස්ටර් ඔබේසේකර මහතා දිවංගත වී දෙසැම්බර් 27 වන දිනට වසර 59 කි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)
ඔබේසේකර පරපුර හා බණ්ඩාරනායක පරපුර අතර ඇත්තේ අඛණ්ඩ සම්බන්ධතාවයකි. එමෙන්ම මෙම පරපුරු දෙක හා එක්සත් ජාතික පක්ෂය අතර තිබූ දේශපාලනික සම්බන්ධය එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය තෙක් දිව යන්නකි. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ෆොරැස්ටර් ඔබේසේකර මහතා මෙරට මැති සබා වංශ කතාවේ ප්‍රථම නියෝජ්‍ය කතානායකවරයා වන අතර ඔහු 1924 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරයාද වේ.
හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගෙ මෑණියන් වූ ඩේසි එස්ලින් ඔබේසේකර මහත්මියගේ එකම සොහොයුරා වූ ෆොරැස්ටර් ඔබේසේකර මහතා 1964 වසරේදී ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ සිංහල මන්ත්‍රීවරයා වූ බෙන්තොට විසූ අධිනීතීඥ ජේම්ස් ද අල්විස් මහතාගේ දියණියක වූ එස්ලින් මාරියා ද අල්විස් මහත්මියගේ එකම පුත්‍රයා විය. ඔබේසේකර මහතාගේ පියා වූයේ ගාල්ලේ තල්පේ පත්තුවේ විසූ ශ්‍රීමත් සොළමන් ක්‍රිස්ටෝපර් ඔබේසේකර මහතාය. ක්‍රිස්ටෝපර් ඔබේසේකර මහතා 1900 වසරේ සිට 1911 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකු ‍ලෙස කටයුතු කර ඇත.
ගාල්ලේ තල්පේ පත්තුවේ කතලුවේ අටදාගෙය වලව්වේදී උපත ලද ෆොරැස්ටර් ඔබේසේකරයන්ගේ සම්පූර්ණ නම වූයේ ෆොරැස්ටර් ඔගස්ටස් ඔබේසේකරය. ඔහුට වැඩිමහල් සොහොයුරියන් තිදෙනෙකු විය.
පළමු සොහොයුරිය ඩේසි එස්ලින් ඔබේසේකරය, ( ඇය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මවයි), එතර් මිල්රඩ් ඔබේසේකර දෙවන සොහොයුරු වූ අතර, ලිලියන් ඔගස්ටා ඔබේසේකර තුන්වන සොහොයුරිය විය. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රී ධූරය වසර 11 ක් ම දරූ ක්‍රිස්ටෝපර් පානී ඉලංගකෝන් මහතා, ලිලියන් ඔගස්ටා ඔබේසේකර මාතාවගේ පුතණුවන්ය.
මේ අනුව ඔබේසේකර පරපුර ව්‍යවස්ථාදායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව, පාර්ලිමේන්තුව, ජාතික රාජ සභාව යන නම් වලින් විටින් විට හැඳින් වූ මෙරට ව්‍යවස්ථාදායකයද, එමෙන්ම අධිකරණයද නියෝජනය කළ සම්භාවනීය පෙළපතක් විය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා පසුව නීතිය හදාරා අධිනීතීඥයෙකු වශයෙන් දිවුරුම් දුන් ෆොරැස්ටර් ඔබේසේකර මහතා විවාහ දිවියට ඇතුළත් වූයේ ඉසබෙල් සයිකස් මෙනවිය සමගය. එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු ලැබිනි. එක් දියණියක් වූ එස්ලින් ඔබේසේකර මෙනවිය නීති වෘත්තියට පිවිසි ලංකාවේ ප්‍රථම කාන්තාව විය. ඇයගේ ස්වාමිපුරුෂයා වූයේ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වූ රැල්ෆ් සෙන්ට් ලුවී පීරිස් දරණියගල මහතාය.
නීති වෘත්තියට මෙන්ම දේශපාලනයට ඇලුම්කළ ෆොරැස්ටර් ඔබේසේකර මහතා ප්‍රථමයෙන් මැති සබය නියෝජනය කරනුයේ ව්‍යවස්ථාදායක සභාවේ සිටය. ඒ අනුව දකුණු පළාතම නියෝජනය කළ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී ආසනය 1924 දී මන්ත්‍රී කොට්ඨාශ තුනකට වෙන්විය. ගාල්ල, මාතර සහ හම්බන්තොට ලෙස දිස්ත්‍රික් පදනමින් මැතිවරණ ආසන වෙන්විය. මාතර ආසනය සඳහා 1924 වසරේදී පැවැති මැතිවරණයට මුළු මාතර දිස්ත්‍රික්කයම එකම ආසනයක් විය. 1924 සැප්තැම්බර් 27 වන දින පැවැති මෙම මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ප්‍රමාණය දෙදෙනෙකි. ෆොරැස්ටර් ඔබේසේකර සහ එල්.එස්.ඩබ්. ඊ ද ෆොන්සේකා මෙම දෙදෙනාය. මාතර ආසනය සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 6000 ක් විය. එයින් ඡන්ද 3569 ක් ලබා ගත් ඔබේසේකර මහතා වැඩි ඡන්ද 1915 කින් මාතර මන්ත්‍රීවරයා වශයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් විය.
1924 සිට 1931 දක්වා මෙම මන්ත්‍රී පදවිය දැරූ ඔබේසේකර මහතා 1931 වසරේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූයේ මාතර දිස්ත්‍රික්කයෙන් නොව කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ඡන්ද කොට්ඨාශයෙනි. මෙම මැතිවරණයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු පරදවා ඡන්ද 7424 ක් ලබාගත් ඔබේසේකර මහතා වැඩි ඡන්ද 994 කින් අවිස්සාවේල්ල කොට්ඨාශයේ රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් මැති සබයට පිවිසියේ 1931 ජූලි මස 07 වන දාය.
මෙදින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථමයෙන් සිදු වූයේ කතානායවරයෙකු පත් කර ගැනීමය. මේ අනුව කතානායක පදවියට පත් වූයේ ප්‍රැන්සිස් මොලමුරේ මහතාය. ප්‍රැන්සිස් මොලමුරේ මහතා යනු ෆොරැස්ටර් ඔබේසේකර මහතාගේ ඥාතිවරයෙක් වන අතර, වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේද ඥාතිවරයෙකි. ලංකා මැතිසබයේ ප්‍රථම කතානායක පදවියට පත් වූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා 1947 දීද පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වශයෙන් පත් වීම විශේෂ සිද්ධියකි.
1931 ජුනි 10 වෙනිදා පැවැති මන්ත්‍රණ සභා වාරයේදී නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාව උදා විය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල මන්ත්‍රීවරයා වූ ජී.ඒ. මඩවල මහතාගේ නම රාජ නීතීඥ ඊ.ඩබ්.පෙරේරා මන්ත්‍රීවරයා යෝජනා කළ අතර එය රාජ්‍ය මන්ත්‍රී අයි.එක්ස්. පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී.
එයින් පසු රාජ්‍ය මන්ත්‍රී ඊ.සී. විලියර්ස් මහතා සහ ඒ.ඊ.ගුණසිංහ රාජ්‍ය මන්ත්‍රීවරයා විසින් නියෝජ්‍ය කතානායක පදවිය සඳහා ෆොරැස්ටර් ඔබේසේකර මහතාගේ නම  යෝජනා කළෙන් දෙදෙනා අතර ඡන්දයක් පැවැත්වීමට සිදු විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු වරට කතානායක පදවිය සඳහා ඡන්දයක් පැවතුනු සුවිශේෂී අවස්ථාව මෙය විය. මෙම ඡන්දයෙන් ඔබේසේකර මහතා ඡන්ද 28 ක් ලබා ගත් අතර, රාජ්‍ය මන්ත්‍රී මඩවල මහතාට ලැබුනේ ඡන්ද 25 ක් පමණී. වැඩි ඡන්ද 3 කින් නියෝජ්‍ය කතානායක පදවිය සඳහා ෆොරැස්ටර් ඔබේසේකර මහතා පත්විය.
ඒ අනුව ලංකාවේ මැති සභා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ප්‍රථම නියෝජ්‍ය කතානායකවරයා වනුයේ මෙතුමාය. ටික කලකට පසු කතානායක පදවිය දැරූ ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ කතානායක පදවිය අහිමි වී ගියේ මන්ත්‍රී ධූරයත් සමගය. එයට හේතුව අධිකරණ තීන්දුවකිනි. එයින් පසු පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බවටද ෆොරැස්ටර් ඔබේසේකර මහතා පත් විය. ඒ අනුව මැතිසබයේ දෙවන වරට පත් වූ කතානායක පදවියද එතුමාට හිමි විය. 1936 පැවැති රාජ්‍ය මන්ත්‍ර ණ සභා මැතිවරණයේදී අවිස්සාවේල්ල ආසනයට යළි තරඟ කළ ෆොරැස්ටර් ඔබේසේකර මහතා තම දේශපාලන දිවියේ ප්‍රථම පරාජයට ලක් විය. ජයග්‍රහණය කළේ පිලිප් ගුණවර්ධන මහතාය.
රාජ්‍ය මන්ත්‍රණ සභා ඉතිහාසයේ ඔබේසේකර මහතා තවත් වාර්තාවකට හිමිකම් ලැබීය. එම වාර්තාව නම් මාමාත්, බෑනත් එකවර මැතිසබය නියෝජනය කිරිමය. මාමා ඔබේසේකර මහතා වූ අතර, බෑණා වූයේ ඔහුගේ සොහොයුරියගේ පුතණුවන් වූ ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහු වේයන්ගෙඩ මන්ත්‍රීවරයා ‍ලෙස 1931 දී නිතරඟයෙන් මැති සබයට පිවිසීය.
1947 මහ මැතිවරණයේදී මෙම මාමා සහ බෑණා යන දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් වශයෙන් අත්තනගල්ලට සහ ගම්පහට තරඟ වැදුනි. නමුත් ඔබේසේකර මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූයේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔබේසේකර මහතා සමග තවත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු එකවර ගම්පහ මැතිවරණ කොට්ඨාශයට තරඟ වැදීමය. මේ නිසා එකම පක්ෂයේ ඡන්ද දෙකට බෙදී ගිය නිසා ඔබේසේකර මහතා පරාජයට පත් වීම සිදු විය.
පසුව 1949 වසරේ ගම්පහ පැවැති අතුරු මැතිවරණයේදී ඔබේසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව තරඟ කළේ ස්වාධීන අපේක්ෂකයෙකු වශ‍යෙනි. මෙම මැතිවරණයෙන්ද ඔහු පරාජයට පත් වූයේ ඡන්ද 1200 ක් තරම් සුළු ප්‍රමාණයක් ලබාගෙන නොසිතූ විරූ ලෙසය. 1951 වසරේදී ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වීමත් සමග ඔබේසේකරවරු සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබූ සම්බන්ධතාවය ක්‍රමයෙන් හීන වී ගියේය. නමුත් ඔබේසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී කිසිවිටක මැතිවරණයකට ඉදිරිපත් වූයේ නැත. නමුත් ඔහුගේ පරපුරේ අය වූ ජේම්ස් පීටර් ඔබේසේකර මහතා බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු අත්තනගල්ල අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත්ව ජයගෙන මැති සබයට පිවිසු‍ණේය. එමෙන්ම ඔහුගේ බිරිඳ වූ ශිවා ඔබේසේකර මහත්මියද 1965 මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයගෙන මන්ත්‍රීවරියක ලෙස මැති සබය නියෝජනය කළ අතර, 1970 දී ද මැතිසබයට පිවිස 1976 වසරේදී ඇය සෞඛ්‍ය ඇමති පදවියට පත් විය.
මැති සබා ඉතිහාසයේ වාර්තාගත දේශපාලඥයෙකු වූ ෆොරැස්ටර් ඔබේසේකර මහතා 1962 දෙසැම්බර් මස 27 වන දින දිවංගත විය. එතුමාගේ අභාවයෙන් එකුන් සැට විය සපිරෙන මෙම අවස්ථාවේදී මා මෙම ලිපිය ලියනුයේ මෙම සුවිශේෂී දේශපාලඥයා ජන මතකයෙන් ඈත් වී සිටින යුගයක යළිත් ඔහුගේ නාමය සිහිපත් කර වත්මන් පරපුරේ ගෞරවය හා අවධානය ලබාදීම උදෙසාය.