රටේ සම්පත් විකුණා දමනවාද, යහ පාලන මූලධර්ම ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවාද -මනුෂ නානායක්කාර

0

රටේ ආර්ථිකය ගොඩ නැගීමට අය වැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකළ ආණ්ඩුව ව්‍යාජ දේශපේ‍්‍රමීත්වයෙන් හා ආගමික අන්තවාදයෙන් රටේ ගැටලු යට ගැසීමට උත්සාහ ගන්නා බවත්, නීතියේ ආධිපත්‍ය, පාරදෘශ්‍යභාවය ඇති කිරීමට අකමැති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බවත් සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

රටේ සම්පත් විකුණා දමනවාද, යහ පාලන මූලධර්ම ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවාද යන තීරණය දැන් ගැනීමට ඇති බවත් අය වැය විවාදයේ අවසන් දිනයේදී විවාදයට එක්වෙමින් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කීවේය

විදේශ සංචිත සති දෙකකට පමණයි තිබෙන්නේ  කියලා ආචාර්ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන පවසා තිබෙනවා. ලබන අවුරුද්දේ මාර්තු වන විට රටේ ආහාර අර්බුදයක් මතුවන බව මහාචාර්ය මෙන්දිකා මව්බිම පුවත්පතට පවසා තිබෙනවා. ජනතාවට බලාපොරාත්තුවක් දෙන්න බැරි අය වැයක් ඉදිරිත් කරලා කෙටි කාලීන හා දිගු කාලීන සමාජ ආර්ථික ප‍්‍රශ්ණවලට විසදුම් ලබාදීමේ ක‍්‍රමවේදයක් අය වැයෙන් ඉදිරිපත් කර නැහැ. දේශපාලන ඉලක්ක ගැන විතරක් හිතලා, ත‍්‍රාඩ ලූපන් පංතියේ බිම්ගත දේශපාලන හෙංචයියන් ශක්තිමත් කරනන් පමණක් වන අය වැයක් දිරිපත් කරලා.

අය වැයේ යතාර්ථය සැගවීමට වෙනත් සංවිධානාත්මක ප‍්‍රශ්ණ සමාජයට ගෙන එමින් සිටිනවා. ආර්ථිකයේ දියුණුව වෙනුවෙන්, ණය කළමනාකරණය කිරිම වෙනුවෙන්, ඉදිරිපත් කර තිබෙන යෝජනා මොනවාද?

අය වැය විවාදය යන අතරවාරයේදී මුදල් ඇමැතිවරයා ඉන්දියාවට ගිහින් ඩොලර් බිලියන එකයි දශම හතරක ණය මුදලක් ඉල්ලනවා හැරෙන්නට මුදල් ඇමතිවරයා මොනවාද යෝජනා කරලා තියෙන්නේ. අය වැයෙන් ආර්ථික ප‍්‍රතිලාභ ජනතාව අතරට ගෙන යාමට මොනවාද යෝජනා කරලා තියෙන්නේ? අනාගතයේදී ඇතිවිය හැකි අර්බුදවලට තිරසාර විසදුම් ගෙන ඒමට අය වැයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා මොනවාද? ව්‍යවසායකත්වය දියුණු කිරීම සදහා අය වැයෙන් කර තිබෙන යෝජනා මොනවාද?

මේ ආණ්ඩුව රටේ ආර්ථික අර්බුදයට විසදුම් සොයන්න හදන සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා ආණ්ඩුව ගෙන එන යෝජනා මොනවාද?සංචාරක ක්ෂේත‍්‍රයට විශේෂ අවධානයක් හෝ සහනයක් ලබාදී නැහැ.

ඩිජිටල් ආර්ථියක් ගැන කතා කළාට ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැහැ. මහ බැංකුව සමග එකතුවෙලා බොරු බැලන්ස් ශිට් එකක් හදන්න විතරයි උත්සාහ අරගෙන තියෙන්නේ.

ව්‍යාජ දේශපේ‍්‍රමීත්වය හරහා සියල්ල යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නවා. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රහ්ණ කරන විට ආණ්ඩුව ඒවාට උත්තර දෙන්නේ නෑ. දූෂණ වංචා ගැන කතා කරන විට ඒවාට පිළිතුරු දීමට ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. පොලීසියේ දූෂණ වංචා ගැන ඇහුවම ආණ්ඩුව ඒවාට උත්තර දෙන්නේ නෑ. ඒවාට සම්බන්ධ අයගේ නම් අයින් කරගත්තාට කැබිනට් පත‍්‍රිකාවල තවම නම් තියෙනවා. අමාත්‍යාංශයෙන් අයින් කළා කිව්වට තවම ආණ්ඩුව එක්ක වැඩ කරගෙන යනවා.

ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කරලා දැම්මා. තමන්ට හිතෙන හිතෙන වෙලාවට ගොවි ජනතාව සමග සෙල්ලම් කරලා රටේ ජනතාවට කන්න දෙයක් නැති තැනට පත් කරලා තියෙනවා. දැන් මේ පොහොර නාඩගම හරහා කෘෂි ක්ෂේත‍්‍රයම විනාශ කරලා දැම්මා.

ගොවි ජනතාව විතරක් එක්ක නෙමෙයි රාජ්‍ය නිලධාරින් සමගත් ආණ්ඩුව සෙල්ලම් කරනවා. විශ‍්‍රාම ගැනීමේ කාලය දීර්ඝ කරලා, අලුතින් රාජ්‍ය සේවයට බදවා ගැනීමට ඇති අවස්ථාවන් නැති කරලා රාජ්‍ය සේවකයින් කෙරෙහි සමාජ විරෝධයක් ඇති කළා. රාජ්‍ය සේවකයින් සමාජයට බරක් කියලා. අද රාජ්‍ය සේවකයින්ගේ ජීවිත පවා අවදානමට ලක් කරලා.

අපේ ආණ්ඩුවක් යටතේ මේ වගේ තීරණයක් ගත්තා නම් අද ආණ්ඩුවේ ඉන්න අය එකතුවෙලා රාජ්‍ය සේවයම පාරට බස්සලා ඉවරයි. රාජ්‍ය සේවකයින් දැන් කොන්ද කෙලින් තියාගෙන තීන්දු ගන්න තැන්වල ඉන්නවාද කියලා අපි ප‍්‍රශ්ණ කරනවා.

රාජ්‍ය සේවයේ විශ‍්‍රාම ගැනීමේ කාලය දීර්ඝ කරලා රුපියල් බිලියන 35ක් ඉතිරි කරගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නවා. හමුදා සේවයේ හා කලින් විශ‍්‍රාම යන අයට පාරිතෝශික ගෙවීමට බිලියන 20ක් වැය වෙනවා. බිලියන 15ක් ඉතිරි කරගැනීමට මේ අනුව පුලුවන් කියලා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ආණ්ඩුවට විතරක් අයිති දෙයක් කියලා තමයි කියන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ආණ්ඩුවට, විපක්ෂයට ජනතාවට අයිති දෙයක්. හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ඉලක්ක කරගෙන ප‍්‍රහාරයක් එල්ලකරමින් ඔහු ජනාධිපතිවරයාට පිස්සා කියලා කිව්ව බව කියනවා. හරින් ප‍්‍රනාන්දු මැතිතුමා ජනාධිතිවරයාට නම් පිස්සා කියලා කිව්වේනෑ. ආණ්ඩු පක්ෂයෙන් තමයි එහෙම කිව්වේ.  පිස්සෙක්ට පිස්සෙක් කියන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නෑ. පිස්සෙක්ට පිස්සෙක් කියන්න මිසක්, පිස්සු නැති කෙනෙක්ට පිස්සෙක් කියලා කියන්න අපිට පිස්සු නෑ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආණ්ඩුව තමන්ගේ අතින් දෙන එකක් කියලා හිතාගෙන ඉන්නේ. ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට විතරක් විපක්ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න පුලුවන් කියලා හිතනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන්න පුලුවන්. අපි කියන විදියට හිටපන්, නැතිනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්නේ නෑ කියන තර්ජනය තමයි මේ එල්ල කරන්නේ.

තමන්ට අවශ්‍ය වෙලාවට විතරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නම ඇති කියලා හිතන ආණ්ඩුවක් කරන්නේ මර්දනයක්. ආණ්ඩුවේ මර්දනය කියන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදයයක්. මේ අදහස් මුලින්ම පාර්ලිමේනත්ුවේදී ඉදිරිපත් කරන විට අපහාස කරනවා. ඊට පස්සේ තර්ජනය කරනවා. එහෙම කරලා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් යටපත් කරනවා. එහෙම මර්දනය කරලා බැරි වුනාම ශරීර ශක්තිය යොදාගෙන මර්දනය කරන්න හදනවා.

පාර්ලිම්නතුව තුළදී ජනතා නියෝජිතයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අභියෝගයට ලක්කරල තියෙනවා නම් පොදු සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම්වලට සිදුවිය හැක්කේ කමුක්ද යන්න අද අපිට ප‍්‍රශ්ණයක් පැන නගනිනවා.

රටේ ජනතාව කතා කරන්නේ මේ තර්ජන ගැන. පාර්ලිමේන්තුවේදී පොලිස් වංචා ගැන කතා කරපුවා අමතක වුනා. කාන්තාවකට අපහාස කරපු එක ගැන අමතක වුනා. කෘෂි කර්මාන්තයේ  ප‍්‍රශ්ණ අමතක වුනා. අද හාමුදුරුවෝ දෙන්නෙක්ගේ වචන සංග‍්‍රාමයක් එළියට දාලා තියෙනවා. අවධානය එතැනට යනවා. තවත් ෆැන්ටසි ලෝකයකය ජීවත් වෙන කුමාරවරුන්ගේ ෆැන්ටසි ලෝක ගැන කතා කරනවා. මේ සැබෑ ප‍්‍රශ්ණ යට ගැසීමට කරන දේවල්

අපි දන්නවා ආර්ථිකය, සහ ජාතිවාදය කොහාමද ගලපමින් සිටින්නේ කියන එක. ප‍්‍රංශ විප්ලවයෙන් පසුව, ඇමරිකානු නිදහස් සටනින් පසුව යුරෝපා ජාතිකයින් තමන් රටවලට අවශ්‍ය සම්පත් ලබාගැනීමට ආසියාවේ අපේ රටවල් ආක‍්‍රමණය කළා. ආගම් ව්‍යාප්ත කරලා, ජාතිීන් අතර ගැටුම් ඇති කළා. අපේ රටවල සම්පත් හූරා කෑවා.

ව්‍යාජ දේශපේ‍්‍රමීයත්වත් බ‍්‍රිතාන්‍ය ජාතිකයින් යොදා ගත්තේ අපේ සම්පත් හූරා කන්න. ආගම් වශයෙන්, ජාතීන් වශයෙන් බෙදා වෙන් කරලා පාලනය කිරිම හරහා පහසුවෙන් අපේ සම්පත් සූරා කෑවා. එදා යුරොපීය අධිරාජ්‍යවාදීන් තමන්ගේ රටවල සම්පත් හිග වන විට අපේ රටේ සම්පත් හූරා කන්න යොදා ගනිපු ජාතිවාදය අදත් අපි ඇදගෙන යනවා. අද එක පවුලක සඛ විහරණය වෙනුවෙන් ජාතිවාදය වපුරමින් සිටිනවා.

එදා 17 සහ 18 වැනි සියස්වල අපේ රටට විදේශිකයින් ආවා වගේ 21 වැනි සියවසේ ඉදලා 22 වැනි සියවසට යන විට සේද මාවත ව්‍යාපෘතිය හරහා චීනය විශාල බල ව්‍යාප්තියක් සිදු කරමින් යනවා. භූ දේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ලංකාවට, ජාත්‍යන්තර බල අරගලය හමුවේ විශාල වටිනාකමක් ලබාගත හැකියි. ජාත්‍යන්තර දේශපාලන කළමනාකාරීත්වය වෙනුවට පවුලට ලැබෙන කොමිස් කුට්ටියට අද රට කුණු කොල්ලයට විකුණමින් සිටිනවා. දේශීයත්වය ගැන සැබෑ දැක්මත් ඇති නායකයෙක් බලයේ සිටියා නම් මේ රටට වෙනුවෙන් ගත හැකි තීරණ ගන්නවා. පවුලට ලැබෙන කොමිස් කුට්ටිය වෙනුවෙන් එවැනි නායකයෙක් තීරණ ගන්නේ නෑ.රටට සැබෑ ලෙසම ආදරය කරන නායකයෙක් මේ වෙලාවේ බලයේ සිටිනවා නම් නිවරදි තීන්දු අරගෙනසේද මාවත ඔස්සේ ලබාගන්නා අතරම ස්වාධීන රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලබාගන්නවා.


පකිස්ථානයෙද්ී ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයෙක් මිය ගිය විට අපි වේදනාවෙන් කතා කරනවා. ඒ වගේම තමයි තංගල්ලේ හෝටලයකදී බ‍්‍රිතාන්‍ය ජාතික කුරාම් ශේක් ඝාතනය කරලා ඔහුගේ බිරිද දූෂණය කරපු වෙලාවේ ලෝකයම අපි දිහා බැලුවෙත් මේ ආකාරයටම තමයි. කප්පම් ලබාගැනීමට තී‍්‍රකුණාමලයේදී පාසල් ළමුන් එකොලොසේ දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කළ දේ අපි අමතක කරලා තියෙනවා. ඒ අවස්ථාවේදීත් ලෝකය අපි දිහා බැලුවේ මේ විදියට තමයි. ළමුන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට චූදිතයින් වන අයට ආණ්ඩුකාරකමක් ලබාදී තිබෙනවා. ලෝක මානව හිමිකම් දිනය දවසේදී ඒ පත්වීම් ලබාදෙනවා.  අදට අවුරුදු දහයකට කලින්, අද වගේ දවසක ලලිත් කුගන් ඝාතනය කළා. එහි චූදිතයින් අද කොතැනද ඉන්නේ?

මෙහෙම තිබියදී ජී.එස්.පී. සහනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි දිහා බලාවිද කියලා අපිට අහන්න වෙනවා.

83 කළු ජූලියෙන් පසුව බුද්ධිමතුන් රට දාලා ගියා. මෙහිදීන් බෙග් මාස්ටර් ගායනා කරපු සිරිපාදේ සිරිපාදේ…. ගීතය අඩංගු වුන ශ‍්‍රී පතුල චිත‍්‍රපටය හදපා කේ වෙන්කන්ට් දෙහිවලදී කාර් එක ඇතුලට දාලා ගිනි තිබ්බේ මේ වගේ දේශපේ‍්‍රමයෙන් මත් වුන ජනතාව තමයි. එදා සුදු ඇදගෙන ගිහින් වෙන්කට් හදපු ශ‍්‍රී පතුල චිත‍්‍රපටය බලලා ඇවිත් වෙන්කන්ට් ඝාතනය කරපු අය, අද පකිස්ථානයේදී ඝතානය කරපු ප‍්‍රියන්තගේ දේහය ඉදිරියට ඇවිත් නැවත අඩනවා. මේක දෛවයේ සරදමක්.

පකිස්ථානයේදී කළත්, වෙන කොතැනකදී කළත් ගෝත‍්‍රික අන්තවාදී ක‍්‍රියාවන් අපි හෙළා දකිනවා. දේශපේ‍්‍රමය දවටාගත් අන්තවාදීන් ඇවිත් නැවත වරක් අපේ රටේ ගොඩනැගීමට උත්සාහ ගන්නා ආගමික අන්තවාදය පරාජයට පත් කළ යුතුයි. හැබැයි ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ හඩ ඇසෙන විට, උන්වහන්සේ මේ රටේ එක් රටක් එක් නීතියක්  ගේන්න පත් කරනකොට අපිට මේ ගැන තියෙන බලාපොරොත්තු සුන් කරගැනීමට සිදුවෙනවා

අන්තවාදය, ආගම්වාදය කරපින්නාගෙන යන කිසිම රටක් ලෝකයේ දියුණු රටක් බවට පත්වෙලා නැහැ. අදටත් ලෝකයේ නොදියුණු රටවල් ගෝත‍්‍රික මානසිකත්වයෙන් යුත් රටවල්. අපේ රටේ ජනතාවගේ සිත් තුල ගෝත‍්‍රික අන්තවාදී හැගීම් මතු කරන්නේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයක් නිර්මාණය නොකර පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා. මොවුන් තමයි ලෝකයේ පිළිගත් යහ පාලන මූලධර්ම අනුගමනය කරනවාට විරුද්ධ වන්නේ.

යහ පාලනය කියන්නේ පසුගිය ආණ්ඩුව සොයාගත්ත දෙයක් නෙමෙයි. නීතියේ ආධිපත්‍ය, වගවීම, වගේ ලෝකය පිළිගත් කරුණු අටක් මත තමයි යහ පාලන මූලධර්ම නිර්මාණය වී තිබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ඒ ලැබෙන අවස්ථාවෙන් රටේ ආර්ථිකය ගොඩ ගන්නවාද, නැතිනම් රටේ සම්පත් විකුණනවාද කියන ප‍්‍රශ්ණය රට හමුවේ තිබෙනවා.

2007 වසරේදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ණය පහසුකම් ලබාගත්තා. එසේ තිබියදී ජාත්‍යත්ර මූල්‍ය අරමුදලට යන්නේ නැත්තේ, යහ පාලන මූලධර්ම අනුගමනය කරන්න කියලා ජත්‍යන්තර මූල්‍ය අරමුදල බල කරන නිසාද? දුර්දාන්ත ආණ්ඩු පාලනය තවදුරටත් පත්වාගෙන යාමට අවශ්‍ය නිසා එහෙමත් නැතිනම් දූෂණය වංචාව නතර කිරීමට ආන්ඩුවට අවශ්‍යතාවයක් නැති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් සිටිනවාද කියලා අපි ප‍්‍රශ්ණ කරනවා.

එතකොට පාරදෘශ්‍යබාවය ඇති කිරීමට , නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැද්ද? දූෂණය වංචාව විතරක් නෙමෙයි ගෝත‍්‍රික මානසිකත්වය තම දර්ශනය බවට පත් කරගනිපු ආණ්ඩව රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාර්ගය පෙන්වන්නේ නෑ. ඒ වෙනුවට ජන විඥාණය නිර්මාණය කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන්නේ නෑ.

අධ්‍යාපනය ලබාදී ජනතාවගේ ඔළු හදලා, දැනුවත් සමාජයක් නිර්මාණය නොකරන්නේ එවැනි දැනුවත් සමාජයකින් ගෝත‍්‍රික පැවැත්ම කරපින්නාගෙන යන ආණ්ඩුවේ පැවැත්මට, එය බාධාවක් බව දන්නා නිසා. පාට පක්ෂ, ආගම්, ජාති භේධ පැතත්කට දාලා ජනතාවගේ දේශපාලන නූගත්කම නැති කිරීමට කටයුතු කළ යුතු වන්නේ අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන්. සෑම පුරවැසියෙක්ගේම දේශපාලන සාක්ෂරතාවය දියුණු කිරීමට කටයුතු කරමු. අභිමානවත් ජාතිකයක් ලෙස අනාගත ලෝකයට දොරටු විවර කළ යුතු වන්නේ බහුතර ජනතාවගේ යහපත්, ප‍්‍රිතිමත්, වටිනාකම් වෙනුවෙන් මිස සුළුතරයකගේ යහපත වෙනුවෙන් නොවෙයි.

 

අලුතින් සිටුවන ලද පැළයක වැඩීමට යටිපදුරු ඉවත් කළ යුතු වන්නා සේ අනාගත පරපුර වෙනුවෙන් අපි අපේ දේශපාලන නූගත්කම කපා ඉවත් කරමු. මානය ඉහළ යන ප‍්‍රමාණයට ඥාණය පහළ යනවා. ඒ නිසා අපි දේශපාලන ව්‍යාජ ජාතිවාදී ආගම්වාදී අදහස් නොවිමසා දේශපාලන ප‍්‍රතිපත්ති විමසමු කියලා බුදුන්වහන්සේගේ මග පෙන්වීම අනුව යමින් මේ රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ශක්තිය ධෛර්ය ලැබිලා අපේ දරුවන්ට හොද රටක් ඉතිරි කිරීමට, රටේ ඉන්න පුලුවන් පරිසරයක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප‍්‍රාර්ථනයා කරනවා