මැතිවරණයකට අදාළ වියදම් සම්බන්ධව “බලයලත් මුදලක්”

0

මැතිවරණයකට අදාළ වියදම් සම්බන්ධව “බලයලත් මුදලක්” තීරණය කිරිම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අද (08) යෝජනා කළේය. මැතිවරණ වියදම් පාලනය පිළිබඳ සකසා ඇති පනත් කෙටුම්පතට එම තොරතුරු ඇතුළත් කර තිබේ.

දේශපාලන පක්ෂ සහ ඒ ඒ අපේක්ෂකයන්ට මැතිවරණයකදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය කවරේද යන්නද යෝජිත බලයලත් මුදල තුළට අන්තර්ගත කෙරේ.

මැතිවරණ කොමිසම විසින්, අදාළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා කර එම බලයලත් මුදල තීරණය කෙරෙන බවද හෙතෙම කාරක සභාවේදී කීවේය. එලෙස තීරණය කරන බලයලත් මුදල මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වේ.

එම බලයලත් මුදල ඉක්මවා වියදම්  කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන්ට එරෙහිව  දඬුවම් නියම කළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ තොරතුරු තාක්ෂණය සමඟ සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු  නියාමනය සඳහාද නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. ඊට නෛතික ප්‍රවේශයක් අවශ්‍ය වේ. එය සාධාරණ හා නිදහස් මැතිවරණයකට ප්‍රමුඛ සාධකයක් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කාල සීමා තුළ දී සිදු කෙරෙන අල්ලස් ලබා දීම් පාලනය සම්බන්ධයෙන්ද  විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කාරක සභාවේදී පැවසීය.

මැතිවරණ කාල සීමාව තුළදී සිදුවන ආපදා අවස්ථාවලදී පීඩාවට පත් පාර්ශ්වයන්ට සහන ලබාදීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් පැවතිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මෙහිදී කීවේය. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, සීමා නිර්ණය කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ආපදා අවස්ථාවලදී මැතිවරණ ප්‍රචාරණයක් සිදු නොවන අයුරින් සහන සැලසීම කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

කොට්ඨාස ක්‍රමයේදී මැතිවරණ වියදම් පාලනය පහසු බව කාරක සභාවේදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී කොට්ඨාසවලින් පත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට 60 ක් විය යුතු බවත්, සමානුපාතිකව තෝරා ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට 40 ක් විය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කීවේය.

මැතිවරණයක් පැවැත්වීමට විශාල කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මැතිවරණ කාල සීමාව අඩු කිරීම ප්‍රායෝගික අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී පැවසුවාය.  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාද මෙම කාරක සභාවට සහභාගි වූහ.