මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් වින්දිතයින්, බෙදා හරින්නන් හා ජාවාරම්කරුවන් ප්‍රභාකරන්ටත් වඩා අතිශයින් භයානකයි

0
මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා වීරවිල බන්ධනාගාර එළිමහන් වැඩ කඳවුර තුළ පවත්වා ගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේය.
මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිට පුනරුත්ථාපනය ලබන රැඳවියන් නැවත යහපත් පුද්ගලයින් ලෙස සමාජ ගත කිරීම සදහා ක්‍රියාත්මක වන “අම දිවි රිද්ම ව්‍යාපෘතිය“ පිළිබදව මෙන්ම එම මධ්‍යස්ථානයේ අවශ්‍යතා පිළිබදව එහිදී සොයා බැලු අතර එහි පිහිටි බන්ධනාගාර රෝහල, රැදවියන්ගේ නේවාසිකාගාර, හා ඔවුන්ට ලබා දී ඇති අනෙකුත් පොදු පහසුකම් පිළිබඳව අධිකරණ අමාත්‍යතුමාගේ නිරීක්ෂණ චාරිකාවේදී විශේෂ අවධානය යොමු විය.
පුනරුත්ථාපනය ලබන රැදවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ඵලදායී පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් තුළින් නැවතත් මත් ද්‍රව්‍ය සදහා යොමු නොවන ලෙස ඔවුන් රටට වැඩදායී යහපත් පුද්ගලයින් ලෙස සමාජ ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යතුමා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව මෙම මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපනය වන තරුණයින් අමතමින් අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේ තරුණ පරපුර යනු රටේ අනාගතය වන බැවින් ඇතැම් තරුණයින් මත් ද්‍රව්‍ය සදහා යොමුව සිටීම විශාල අපරාධයක් මෙන්ම ඒ තුළින්  පවුල් සංස්ථාව පමණක් නොව  සමාජය ද  පරිහානියට පත් වන බවයි.
මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් වින්දිතයින් වන බැවින් හා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බෙදා හරින පුද්ගලයින් වත්මන් රජය හදුනා ගෙන ඇති අතර වින්දිතයින් පුනරුත්ථාපනය කිරීමටත් ජාවාරම්කරුවන්ට හා බෙදා හරින පුද්ගලයින්ට දඩුවම් ලබාදීමටත් බෙදා හරින ජාලය නතර කිරීමට කටයුතු කරන බවත්, ඇබ්බැහිවු පුද්ගලයින් මෙහි වින්දිතයින්, මත් ද්‍රව්‍ය බෙදා හරින්නන් හා ජාවාරම්කරුවන් ප්‍රභාකරන්ටත් වඩා අතිශයින් භයානක ත්‍රස්තවාදී පුද්ගලයින් ලෙස හැදින්විය හැකි බවත් ඔහු  පැවසුවේය.
මේ සදහා ඇබ්බැහිවී පීඩා විඳින අය ඉන් ගලවා ගැනීම සදහා වෛද්‍ය උපදෙස්, රජයේ සහාය මෙන්ම නිසි පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් අවශ්‍ය බැවින් ඔවුන් නැවත යහපත් පුද්ගලයින් ලෙස සමාජය ගත කිරීම සදහා පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් පුනරුත්ථාපනය වන සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බවත්, ඔවුන්ට වෘත්තීය පුහුණුවීම් මෙන්ම විදේශිය රටවල් සදහා ගොස් රැකියා කිරීමට අවස්ථාව හිමි වන පරිදි කටයුතු කරන බවත්, අධිකරණ ඇමති පැවසීය.
තමන්ගේ ගැන තමන්ගේ දෙමාපියන් පිළිබදව මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳව කල්පනා කරමින් මතින් තොර යහපත් දේශයක් ගොඩ නැංවීම උදෙසා රජය ගෙන යන වැඩ පිළිවෙළට ශක්තියක් වෙමින් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අත්මීදී කටයුතු කිරිමේ වගකීමක් ඔබ සියලු දෙනාට පවතින බව ද ඇමති පැවසුවේය.
මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සදහා වීරවිල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානය තුළ වයස අවුරුදු 22 ත් 30 ත් අතර තරුණයින් පුනරුත්ථාපනය වන අතර අදියර තුනක් යටතේ ඔවුන්ගේ පුනරුත්ථාපන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙයි.