හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජබෙට ගිය මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂයට

0
එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට කැමැත්ත පළකර ඇත.

එම මහජන නියෝජිතයින් අතරින් 9 දෙනෙක් පසුගිය 21 වෙනිදා සවස අම්බලන්තොට, නෝනගමදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වූහ.

මෙලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අය අතර තංගල්ල මහ නගරසභා මන්ත්‍රී මෙහොමඩ් සිරාස්, හම්බන්තොට නගරසභා මන්ත්‍රීවරුන් වන දිනේෂ් දර්ශන, එම්. මොහොමඩ් රිසාන්, ශරිෆ්දීන් ෆරීස්, එස්. අරුණ ශාන්ත, මොහොමඩ් සම්සූදීන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. පී. ධම්මික, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර, අම්බලන්තොට ප්‍රාදේශීයසභා මන්ත්‍රී අහමඩ් ශකූර් යන අය වෙති.

මෙම මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව එජාපයේ විනය කමිටුව විසින් පසුගිය කාලයේ විනය පරීක්ෂණ පැවැත්වූ අතර වජිර අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදී නැවත පක්ෂය සමග එක්ව ක්‍රියාකාරීව වැඩකිරීමට එකඟත්වය පළකරන ලදී.

ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ අතීත, වර්තමාන සහ අනාගත ක්‍රියාකාරීත්වය හා ඉදිරියේ ඇති අභියෝග මෙන්ම ඒවා ජයගැනීමට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙල සම්බන්ධව වජිර අබේවර්ධන මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාවට නංවන වැඩපිළිවෙලට ක්‍රියාකාරීව සහයෝගය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ මෙම මන්ත්‍රීවරු එකඟතාවය පළකරමින් වජිර අබේවර්ධන මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

මෙම සාකච්ඡාවට හම්බන්තොට දිස්ත්‍රික් එජාප නායක, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක සිරි අන්ද්‍රාහැන්නදී, දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික අශෝක ධනවංශ යන මහත්වරු සහ හම්බන්තොට ආසන සංවිධායකවරු, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ