අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න

0
අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න – කෝප් කමිටු සභාපතිවරයා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දෙයි.
• යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ඉක්මවා  රුපියල් 80,560,914 ක් වැය කිරීම සම්බන්ධයෙන් කෝප්  කමිටුවේදී අනාවරණයක්
ආයතන අතර සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා අවධාරණය කරයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා සහයෝගයෙන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් එය රාජ්‍යයේ පැවැත්මට ප්‍රබල බාධාවක් බව ඊයේ(16) පැවැති කෝප් කාරක සභා රැස්වීමේදී හෙතෙම අවධාරණය කළේය.අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන ලෙසද කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
වගකීම් පැහැරහරින සහ විනය විරෝධීව හැසිරෙන නිලධාරින් සමබන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කෝප් කමිටු සභාපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සං‍යුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.එම සමාගම ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙළ නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව ප්‍රශ්න කළේය.
ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පැවසූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා, 2015 වසරේ සිට ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළේය. එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සමබන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් 142,810,543 ක්ද, 2014 දෙසැම්බර් 31 වැනි දින වන විට ජාතික තරුණ සේවා සභාව උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 7,657,349 ක් ද ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.
2018 සහ 2019 වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ක් වුවද,එය ද ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අනාවරණය විය. තවද 2019 වසරේ වැඩසටහනට අවශ්‍ය ගබඩා 02 ක් කුලි පදනම මත ලබා ගැනීමේදී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව, ඇණවුම් කළ දින ප්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් එකතුව රුපියල් 2,227,400ක් වැඩිපුර ගෙවා තිබුණි. එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන් වෙත බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව , වැඩසටහන පවත්වන ලද දිනට පසුව ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් 1,932,500 ක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
සමික්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ මුද්‍රණය කරන ලද පිරිවැය රුපියල් 1,822,400 ක් වූ තොරතුරු පත්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවද මෙම කාරක සභා රැස්වීමේදී අනාවරණය විය.
ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේදී හෙළි විය.
එමෙන්ම ජාතික තරුණ සේවා සභාව විසින් 2018,2019 හා 2020 වර්ෂවල මිලියන 417 ක් වටිනා කාර්‍යයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම තුළින් සිදු කර ගෙන තිබූණි.
ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් අංශ ප්‍රධානීන් වෙත 2021 වසරේ ඔක්තොම්බර් මස 08 වැනි දින නිකුත් කර තිබූ අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් ආයතනය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබා ලබා දීම සිදුනොකළ යුතු බවට උපදෙස් ලබා දී තිබු බවද කාරක සභාවේදී අනාවරණය විය. එය ජාතික විගණන කාර්‍යාලයේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු වලට එය බාධාවක් වූ බවද එම ආයතනවල නිලධාරිහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.
ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කිරීමට නියමිත සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව ආරම්භ කිරීම සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර ,2021 ජූලි 29 දින රුපියල් 15,708,178 ක් වැය කර උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව එම ආයතනයේ නිලධාරින්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මධුර විතානගේ, ප්‍රේම්නාත් සී.දොලවත්ත යන මහත්වරු සහ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.